උගුරැස්ස
BOTANICAL NAME – Flacourtia indica Merr. Syn F. ramontchi L. Herit
FAMILY – FLACOURTIACEAE
පොදු සිංහල නම – උගුරැස්ස
උගුරැස්ස ගෙඩිය අමුවෙන් කෑමට ගත් විට එහි ඇති කහට ගතිය නිසා උගුරේ බැඳීමෙන් උගුර හිර වූවාසේ දැනෙන නිසා.
කටු ලොවි
ශාකයේ කටු පවතින නිසා එසේ හැඳින්වූවා සේ සිතිය හැකිය.
ඉංග්‍රීසි – Mauritius plum
හින්දි – කට්ඨාය
බෙංගාලි – බෙංචි
දෙමළ – කටුකාලි, කරුමුරුක්කායි
සංස්කෘත – විකාන්ත
පර්යාය – ස්වාදු කණ්ඨක, කණ්ඨකී (කටු සහිත)
උත්පත්ති ස්ථාන
මෙහි නිජ භූමිය ශ්‍රී ලංකාව හා ඉන්දියාව ලෙස සැලකේ. එය මලයාසියාව බව ද, දකුණු ආසියාව හා මැඩගස්කරය බවට ද තවත් මතයක් පවතී.
ව්‍යවහාරික අංග
මුල්, කොළ, පොතු, ගෙඩි හා ඇට
ලංකාවේ විවිධ පළාත්වල වැවෙන ගසකි. එහෙත් පහතරට හා මැද රට තෙත් කලාපයේ ඉතා සරුවට වැවේ. පළතුරු ශාකයකි. එහෙත් ඖෂධ පිණිස භාවිත මකරේ. සංහිතා ග්රන්ථයන්හි පවා දක්වා ඇත. වසරකට දෙවරක් පමණ ඵල දරන මෙම ගසේ නොමේරූ ශාඛවල කටු සහිත රිකිලි පවතියි. කඳේ විශාල කටු පවතී. කඳේ මුල කොටසේ පවතින කටු ප්‍රමාණයෙන් සෙ. මී. 8 – 10 පමණ දිග වේ. මෙම කටු ඉතා තියුණුය. මෙම කටු නිසා ගසට නැගීම ද අසිරුය. මේ නිසාම ගස වැඩෙත්ම ගසට තුවාල නොවන අයුරින් මෙම කටු ඉවත් කළ යුතු බවත් එසේ කිරීමෙන් ගසට හානියක් නොවන බව ද කියත්. කොළයේ දාරය දැති සහිතය. තද කොළ පාටින් යුක්තය.
ගසේ පොත්ත සිනිඳුය. ලා දුඹුරු පාටින් යුක්තය. ඉතා කුඩා කහ පාටට හුරු සුදු පාට මල් හට ගැනේ. උගුරැස්ස ගෙඩිය ගෝලාකාරය. නොපැසුණු ගෙඩි කොළ පාටය. පැසී ඉදුණු ගෙඩි තද දම් පාටින් යුක්තය. ඉදුණු ගෙඩි වල මදය මධුර ය. කහ පාටින් යුක්තය. එහි තුල කුඩා බීජ කීපයක් යුක්තය. කෑමට පෙර ගෙඩිය අත්ල මත තබා පොඩිකර ගෙන කෑ කල්හි වඩා රසවත්ය.
මෙම ද්‍රව්‍ය හැඳින් වීමේදී විවිධ මතභේද දක්නට ඇත. විවිධ ඖෂධ යෝග යන්හි පරුෂක යනුවෙන් සඳහන් විට උගුරැස්ස යොදන බව දක්නට ලැබේ. බොරඑදමුන, කටු ලොවි ආදී නම් වලින් ද හැඳින් වේ.
ප්ලකෝෂියා ඉන්ර්මිස් යනු කටු ලොවි ගසේ උද්භිද විද්‍යානාමය ලෙස එච්. එස්. මැක්මිලන් මහතා දක්වන අතර උගුරැස්ස ශාකයේ උද්භිද විද්‍යා නාමය ප්ලතේ ෂියා කැටප්රැක්වා බවද කියා ඇත. උගුරැස්ස ප්ලකෝෂියා ඉන්ඩිකා යනුවෙන් ද තවත් තැනක දක්වා ඇත.
මෙසේ නොයෙකුත් මතභේද දක්වා තිබීමෙන් පැහැදිලි වන්නේ උගුරැස්ස වර්ග කිහිපයක් පවත්නා බවත් ඒවායේ ඇති වෙනස් නම් අනුව උද්භිද විද්‍යා නාමයන්ගෙන් හඳුන්වන බවය.
පරිචය
වරක සංහිතා
සූත්‍ර ස්ථානය – අන්න පාන විධි අධ්‍යායය. ඵලවර්ග යටතේ.
විමාන ස්ථානය – රෝග භීෂග් ජිතිය විමාන නමැති අධ්‍යායය තිත්ත ස්කන්ධය
සුශ්‍රැත සංහිතා – චිකිත්සා ස්ථානය –
ප්‍රමේහ චිකිත්සා අධ්‍යායය, ප්‍රමේහ නාශක අරිෂ්ට යටතේ.
උත්තරස්ථාන ලුකාදී විෂ ප්‍රතිශේධ අධ්‍යාය.
අෂ්ටාංග හෘද සංහිතා – පරුෂකාදී ගණය
චිකිත් සාස්ථානය, කාස, චිකිත්සා අධ්‍යායය. යන ස්ථානයන්හි විකෘතක. වෛකං තකයන නාමයන්ගෙන් හඳුන්වා ඇත.
පැළැටියේ ගුණ විස්තර
නොඉදිණු ගෙඩි – ගුරුය, වාතය නසයි. පිත් වඩයි.
ඉදුණු ගෙඩි – මධුරයි. වා පිත් නසයි. සංග්‍රාහි ගුණ යුක්තයි.
රුචිකාරකයි. අග්නි වර්ධකය, රක්ත පිත්ත, කාමලා, ප්ලීහා වෘද්ධි යන රෝග අවස්ථාවන්හි යෙදේ.
උගුරැස්ස පොතු හා මුල් වාතය නසයි. මුත්‍ර දෝෂ හා සෙම් රෝග නසයි. හෘදයට හිතයි. පිපාසය නසයි.
ගුණ
විකෘතකාඃ ස්‍රාව වෘකේෂා ග්‍රන්ථි: ස්වාදුකණ්ටක :
ස එව යඥ වෘක්ෂශ්ව කණ්ටකී ව්යාඝ්ර පාය විකෘතක ඵල පවං මධුරං සර්ව දොෂ පිත්
(හා.ප්‍ර.)
යෝග
ප්‍රසූතියෙන් පසුව ඇති වෙන විවිධ වාත වේදනා නැසීමට සියුම්ව අඹරාගත් උගුරැස්ස ඇට, අමුකහ සියුම්ව අඹරා ශරීරය ආලේප කිරීම.
ඉදුණු ගෙඩි යුෂ අෂ්ට පානයට (භික්ෂුන් වහන්සේලාට විකාලයෙහි වැළදීමට නියමිත) ඇතුලත් වේ.
ඇස තැලීමට
උගුරැස්ස කොළ අමුකහ සමඟ කොටා මලවා බැඳීම.
මුලේ පොතු කැඩුම් බිඳුම් වෙදකම සඳහා භාවිත කෙරේ. රෝහිණි නම් ගල රෝග ප්‍රතිකාරයට යොදන ඖෂධ යෝගයන්හි උපාදානයක් ලෙස උගුරැස්ස යෙදෙන බව දැකිය හැකිය.
ආශ්රිත ග්රන්ථ
සිංහල විශ්ව කෝෂය – ප්‍රථම මුද්‍රණය
6 වන වෙළුම ඩී. ඊ. හෙට්ටි ආරච්චි
ආයුර්වේද ඖෂධ සංග්‍රහ – ප්‍රථම පියවර
දෙවන කොටස හා
තුන්වන කොටස
වරක, සුශ්‍රැත, අෂ්ඨාංග හෘද සංහිතා
ගසක වතගොත – සරත් කරුණානායක
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



