BOTANICAL NAME – Abrus precatorius L.
FAMILY – LEGUMINOSAE
පොදු සිංහල නම – ඔළිඳ
සංස්කෘත නම – ගුංජා
හින්දි – රන්ති
බෙංගාලි – කුංච
ද්‍රවිඩ – ගුණ්ඩුමනි
පර්යාය
රත්තිකා
බිල්වභුෂානි
කාකාදනී
කෘෂ්ණ වුඩිකා
රත්ති
ශ්වේතකටහි
ශ්වේත ගුංජා
ඵල ඔළිඳ (සුදු ඔළිඳ)
උච්චටා, ශ්වේතගුඤජා, සීතොව්වටා, ස්වේත කුංව. එළ ඔළිඳ, උච්චටා නොවේ යැයි සැකයක් පවතී. සුදු හෝ ලා රෝස පැහැති කලු තිතක් සහිතඇටයකි.
රතු ඔළිඳ
ගුංජා, කාකතන්තී ල, කාකවිඤවී, රක්ත ගුංජා, රක්තිකා, රත්ති, සුංසවිකුවේ. ගුණ්ඩුමනි. Indian liquorice යනුවෙන් ඉංග්‍රීසි බසින් මෙය හැඳින් වේ.
ප්‍රභේද
ඇටවල ප්‍රමාණය හා වර්ණය අනුව ප්‍රභේද කර ඇත.
- එළ ඔළිඳ
2 කළු ඔළිඳ - රතු ඔළිඳ
- ඇත් ඔළිඳ
- රක්ත ගුංජා
- ශ්වේත ගුංජා
කුලය
ගිබ් කුලය – අපරාජිකා උපකුලය
ඔළිඳ ගිම්බි කුලයට අයත් ලතා විශේෂයකි. සංයුක්ත පත්‍ර ඇත. පුෂ්ප මංජරි වශයෙන් ඇත. ද්විලිංගිකය. දම්පාටින් යුක්තය ඔළිඳ වැල ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ඇත. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද අඩි 3000 දක්වා උස් ප්‍රදේශ වල වැවේ.
මෙය ගිම්බි කුලයට අයත් අතර අපරාජිතා උපකුලයට අයත් වේ.
ගුංජා යනුවෙන් සංස්කෘත භාෂාවෙන් ද ද්‍රවිඩ බසින් ගුණ්ඩුමනි ලෙසින් ද හින්දි භාෂාවෙන් ගුංචි ලෙස ද ඔළිඳ හැඳින්වේ.
ලංකාවේ ඕනෑම දේශගුණයට ඔරොත්තු දෙන පැළෑටි විශේෂයක් බව සියලුම ප්‍රදේශයන්හි පාහේ දක්නට ලැබීමෙන් පැහැදිලි වේ.
ඖෂධ වශයෙන් බෙහෙවින් ගැනෙනුයේ රතු ඔළිඳ හා එළ ඔළිඳයි. කළු ඔළිඳ මුල් වැල්මී යැයි වැරදි ලෙස ඇතමුන් භාවිත කරයි. කළු ඔළිඳ මුල ද තරමක් මිහිරි රසයෙන් යුක්තයි. වැල්මී වැලක් නොවේ. වැල්මී පත්‍ර කිනිත්ත බිලිං පත්‍ර කිනිත්තක හැඩයට සෑහෙන තරම් සමාන කමක් තිබේ. ඔළිඳ පත්‍ර කිනිත්ත ඊට වෙනස්ය.
ඔළිඳ ඇටවල පොත්තෙහි ” ඇබ්රින්” (Abrin) නමැති විෂ සහිත කොටසක් අඩංගු වන අතර පත්‍ර මිහිරි රසයෙන් යුක්තයි. පත්‍රවල ” ටැනින් ” නැමැති පදාර්ථය අඩංගුය. ඖෂධ වශයෙන් බෙහෙවින් මුල්, පත්‍ර හා ඇට භාවිතවන අතර සාමාන්‍යයෙන් පංචාංගයම යොදාගනී.
මෙම පැළෑටිය සංහිතා කාලවලදී පවා භාවිතයට ගැනුණු බවට සාධක ඇත. එබැවින් මෙම පැළෑටිය ඉතා පුරාණයේ සිටම භාවිතයට ගැණුන බව සිතිය හැක.
උදා:-
- චරක සංහිතාවේ චිකිත්සක ස්ථානයේ 7 වන අධ්‍යායය කනක ක්ෂීර කෛලය
- සුශ්‍රැත සංහිතාවේ සුත්‍ර ස්ථානයේ ii වන අධ්‍යායය ප්‍රතිසාරණිය ක්ෂිරපාකය
අෂ්ටාංග හෘදය සංහිතා
කාකාදනී ආදි කල්කය
මානපරිභාෂාවේ දී ඔළිඳ ඇට මානයක් වශයෙන් ප්‍රයෝජනයට ගත් බව පෙනේ.
උදා:-
වරක සංහිතාව
රක්තිකා 6 ක් මාෂ 1 යි
සුශ්‍රැත සංහිතාව
රක්තිකා 5 ක් මාෂ 1 යි
මාගධ මාණය
ගුංජා 6 ක් මාෂක 1 යි
සුශ්‍රැත සංහිතාවේ ඔළිඳ මුල විෂ ගණයට අයත් බව පවසයි.
භාව ප්‍රකාශය උප විෂ ගණයට අයත් බව පවසයි. එමෙන්ම රස තන්ත්‍රයේ පංච ද්‍රවක හා මිත්‍රපංචකයේ ඔළිඳ අඩංගු වේ.
පංචද්‍රවක
එළ ඔළිඳ, පුෂ්කර, මී පැණි, ගිතෙල්, පැරණි උක් හකුරු
මිත්‍ර පංචකය
මී පැණි, ගිතෙල්, ඔළිඳ, ටංගන, ගුගුල්
දේශීය වෙදකමෙහි ද පුරාණයේ සිටම ඔළිඳ පැළෑටිය ඖෂධයක් වශයෙන් භාවිත කර ඇත. දේශීය වෛද්‍ය ක්‍රමයේදී ප්‍රයෝජනයට ගන්නා ගුලි කල්ක රාශියකම අනුපානයක් සඳහා ඔළිඳ කොළ ප්‍රයෝජනයට ගනී.
උදා:-
වටිකාප්‍රකරණය
සීතාරාමවටී, කුඩා වලිප්පුරාජගුලිය, යෂ්ඨි කල්කය, ක්‍රිමරුපුකල්කය.
ප්‍රයෝජනයට ගන්නා අංග
කොළ, බීජ, මුල් සහ සාමාන්‍යයෙන් පංචාංගයම
ඖෂධ සඳහා බීජ හා මුල් ගන්නා විට ශෝධනය කර ගත යුතුය. බීජ වල පොත්තෙහි විෂ සහිත (Abrin) නමැති ද්‍රව්‍යයක් ඇති බව සොයාගෙන ඇත. මෙය ඇස වැනි සියුම් ස්ථානයක යෙදීමෙන් ප්‍රදාහයක් ඇතිවීමට පුළුවන. එබැවින් ඖෂධ සඳහා යොදන විට ශෝධනය කල ඒවා මාත්‍රානුකූලව යෙදිය යුතුය.
පැළෑටියේ ගණ
රස – තික්ත කෂාය
ගුණ – ලඝු, රූක්ෂ, තීක්ෂණ
විර්යය – උෂ්ණ
විපාක – කටු
ඔළිඳ සහමුලින් කෙෂ්‍යයයි.
ඔළිඳ පත්‍ර
ත්‍රිදෝෂ හරයි. වාකය හා පිත ශමනය කරයි. ශෝථහරයි. වේදනාස්ථාපනයි. ව්‍රණ රෝපණයි. කුෂ්ඨස්නයි. ස්නේහනයි. මුත්‍රලයි.
බීජ
කළුවාත ශමනය කරයි. කුෂ්ඨස්නයි, වණරෝපණය කරයි. වේදනස්ථාපණයි, වාජීකරණයි.
මුල්
ත්‍රිදෝෂ හරයි, වාපිත් ශමණය කරයි. මුත්‍රලයි. වාජීකරණයි. ගර්භාෂය උත්තේජනය කරයි.
ශෝධන විධි
i. පොතු ඉවත් කරන ලද ඔළිද ඇට රෙදි කඩක පොට්ටනි බැඳ එළකිරෙන් දෝලා යන්ත්‍රයෙහි ස්වේදදීම
ii. පොතු ඉවත් කරන ලද ඔළිඳ ඇට රෙදිකඩක පොට්ටනි බැඳ කාඩියෙන් දෝලා යන්ත්‍රයෙන් ස්වේදදීම
iii. ඔළිඳ ඇට කාඩියෙන් හෝ ඵලකිරෙන් තම්බා ගැනීම
iv. එමෙන්ම ඇට ඖෂධ සඳහා ගැනීමට පෙර උතුරන වතුරෙහි පැය කිහිපයක් බහා තබා ගත යුතුය.
පත්‍ර මධුර රසයි. මුල් මධුර හා තික්ත රසය වේ. මුල්වල ස්නිග්ධ ගුණය ඇත.
ඖෂධ යෝග වශයෙන් ක්වාථ තෛල, ලේප හා රසායනාදියෙහි යෙදේ.
ඔළිඳ සහමුලින් කේෂ්‍ය වේ. එමෙන්ම හෘදය උත්තේජනය කරයි. මුල් හා බීජ වාජීකරණ ගුණයෙන් යුතු වේ. කොළ හා මුල් කළුනි : සාරක හා ස්නේහනයි. ජ්වරස්නයි.
බාහිර වශයෙන් මෙම බීජ කුෂඨන්න වුණ රෝපණ හා වේදනාස්ථාපනයි. පත්‍ර බාහිර වශයෙන් ගෝථහර, වේදනාස්ථාපන සහ වුණ රෝපණයි. ඔළිඳ හෙවත් ගුංජා බොහෝ රෝග සඳහා ගුණදායකයි.
සංරක්ෂණ වියි
ගෝධනය කරන ලද බීජ වියලා වුර්ණ කර සුදුසු භාජනවල අසුරා තැබීම.
මාත්‍රාව
ශෝධනය කරන ලද ඇට චුර්ණය
ග්‍රෙන්ස් 1 – 2 දක්වා
යෝග සංග්‍රහය
- බටු තෙල
- මහවිකාර තෛලය
- ගුංජාදි තෛලය
- ගුංජා තෛලය
- ඔඩු තෛලය
- සිද්ධාර්ථක සෘතය
- කණ්ඩමාල ගුලිය
නයනකේතකී තෛලය හා චන්ද්‍රකාන්ති තෛලයේ කකයන්ට ඔළිඳ මුල් චුර්ණය යොදා ගනී.
යෝග හා විවිධ සංස්කරණ යොදන අවස්ථා
මූත්‍රකෘච්ඡුයට
ඔළිඳ කොළ කොටා තැඹිලි ගෙඩියෙහි බහා වසා රෑ පින්නෙහි තබා උදයට මිරිකා පෙරා බීමට දෙන්න.
වාජීකරණයට
ඔළිඳ කිරි කෂාය
උඳුගොව්වා කෑමට
එම ස්ථානය සේපාලිකා කොළයකින් මැද අඹරාගත් ඔළිඳ කොළ ආලේප කිරීම.
මුඛ පාකයේදී
පත්‍ර ක්වාථය ගණ්ඩුෂ කිරීම.
අක්ෂි රෝග වලදී
ඔළිඳ කොළ කම්බා මද උණුසුමෙන් ඇස මතුපිට තැවීම.
එමෙන්ම ප්‍රසවය පහසු කිරීම පිණිසද ඔළිඳ මුල් ක්වාථය යෙදේ.
මුල් අධික මාත්‍රාවෙන් වමන කාරකයි. එවැනි අවස්ථා වලදී කූරතම්පලා යුෂ සීනි සමඟ යෙදීමෙන් විෂ ප්‍රතිශෝධකයි. මෙය උෂ්ණ ප්‍රකෘතියට අහිතකර ඖෂධයක් සේ සැලකේ.
ස්වර භේදයට
ඔළිඳ කොළ වැල්මී හා සමාන නිසා ස්වර භෙදයෙහි බෙහෙවින් යෝග්‍යයි. ඔළිඳ පත්‍ර අඹරා සීනි සමඟ සුප්පු කිරීමටද (චූෂණය කිරීමට)
ගලක්ෂක ජනිත ස්වර භේදයට
ඔළිඳ කොළ. වාල්මොලගු සහ සීනි අඹරා ගුලි සාදා වුෂණය කිරීම අතිශයින් ගුණදායකයි.
ගෘධුයි. නාඩි ශුල හා ශ්චිත්‍ර රෝගයට
බීජ අඹරාගත් වුර්ණය යෝග්‍ය වේ.
වුණයන්හි අධිමාංශ ජනිත අවස්ථාව:- ඔළිඳ ඇට ආලේප කිරීමෙන් වැඩුනු මස් කැපේ.
නාඩි බල කාරක, මුත්‍ර වර්ධක, වාජීකරණ ගුණයෙන් යුත් ඔළිඳ ඉතා අගනා ඖෂධයකි. එහි ඇති විෂ පදාර්ථ නිසිලෙස නසා ගැනීමෙන් හා නිසි ලෙස ප්‍රයෝග කිරීමෙන් ඉතා වටිනා ප්‍රතිඵල ලබාගත හැකි බව පෙනේ.
සැලකිය යුතුයි:
ඔළිඳ ඇට චූර්ණය අධිමාත්‍රාවෙන් යොදා විෂ අවස්ථාවක් ඇති වුවහොත් කූරතම්පලා යුෂ සීනි මිශ්‍ර කොට යෙදීමෙන් විෂ නැසේ.
ආශ්‍රිත ග්‍රන්ථ
- ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ ප්‍රථම පියවර, පලවන කොටස, තෙවන කොටස
- වරක සංහිතාව
- සුශ්‍රැත සංහිතා
- ස්වදේශීය භෛසජ්‍ය විශ්වකෝෂය
- වටීකා ප්‍රකරණය
- Vegetable Meteria Medica of India and Ceylon.
වෛද්‍ය ආර්. කේ. ඩී. පී. එම්. රණසිංහ,
වෛද්‍ය නිළධාරි.
නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව,
කැස්බෑව.
වෛද්‍ය රම්‍යා ගුණසේකර,
වෛද්‍ය නිළධාරි,
ආයුර්වේද රෝහල,
බොරැල්ල.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



