ඒකාවේරිය

ඒකාවේරිය

BOTANICAL NAME – Rauwolfia serpentina (L.) Benth. ex Kurz.

FAMILY – APOCYNACEAE

පර්යාය නාම

සංස්කෘත
සර්ප ගන්ධා
එක බීජානා
එක්මල්

කුලය
කුටජ කුලය

ස්වරූපය

සෙ.මි. 70 ක් පමණ උසට වැඩෙන වර්ෂ කීපයක් පවත්නා පැලෑටියකි. අවශ්‍යතාවය අනුව බහුලව භාවිත කරන ඖෂධයකි. ආර්ථික වශයෙන් සාමාන්‍ය ප්‍රයෝජනයක් ලැබිය හැකිය.

අඩි 2000 දක්වා උස් තෙත් ප්‍රදේශ වල සෙවන ඇති විශේෂයෙන් කඳුකර සිසිල් ප්‍රදේශ වල වැවේ. හිමාලය ප්‍රදේශයේ නේපාල් වෙනත් පාර්වතීය ප්‍රදේශ බිහාර්, උත්තර ප්‍රදේශ සීකිම්, ඩැකාන්, සාට්ස්, ට්‍රැවන්කෝර්, සිංගප්පූර්, මලයා ආදී ප්‍රදේශයන්හි ද ලංකාවේ අධික වියලි කලාපය හැර අනිකුත් සෑම ප්‍රදේශ වලම වැවේ. මෙම ගස් ගෙවත්තේ ගෙවත්තේ වැවීමටත්, ගෙමිදුල වර්ණ අලංකාරයටත් සෙවණ සඳහා වැවීමට හැකියි.

මෙම ගසේ පොත්ත සිනිඳුය. කඳ තදයි. අතු කෙළවර පත්‍ර 3 බැගින් රවුමට පිහිටයි. පත්‍රයක් සෙ. මී. 7 – 13 ක් පමණ දිග වේ. සෙ.මී. 2.5 පමණ පළලයි. පත්‍ර දෙකෙලවර ගින්ය. පුෂ්ප ලඟින් පිහිටයි. ක්‍රමවත් භාවයක් නැත. මුලින් අත්ත කෙළවර එක් මලක් පිපේ. ද්විලිංගිකයි. පුෂ්ප මංන්දරිය පමණට මල් නටුව දිගයි. පුෂ්පයේ පෙති සෙ.මී. 2 පමණ දිගයි. සුදු පැහැ හෝ ලා රෝස පාටයි. නලාකාරව කෙළවර වේ. සුදු, රෝසපාට, හෝ තද රතු පාටයි. එක් ඛණ්ඩයක් මි.මි. 6 දිගයි. මීමී. 4 ක් පළලයි.

මල් හට ගන්නේ මාර්තු සිට මැයි දක්වා සහ නොවැම්බර් යන මාසවලයි. බීජ හා අතුවලින් බෝකල හැකියි. ව්‍යවහාරය සඳහා මුල්, පොතු, ගෙඩි ආදි පංචාංගයම ගනී. වියලා ගත් මුල් ප්‍රධාන වශයෙන් යෙදේ. කොළ සහ යුෂ සුළු වශයෙන් ව්‍යවහාර වේ.

ගුණ

රස – තිත්ත උෂ්ණ නිසා කඵවාත ශමනයි
ගුණ – රූක්ෂ
විපාක – කටු
ප්‍රභාව – නිද්‍රා ජනන

මෙම ඖෂධය වාත ශාමක. නිද්‍රාජනන, මෙධ්‍ය, විෂනාශක, ශාමකයි.

විශේෂයෙන් යොදන රෝග

උන්මාද, අපස්මාර, අතිරක්තවාප, අනිද්‍රා, සර්පදෂ්ට

ඖෂධ යෝග

සර්ප ගන්ධාවටී

සර්ප ගන්ධා චූර්ණ

සර්ප ගන්ධා පාකවටී

සර්ප ගන්ධා යනු සුශ්‍රැත උත්තර තන්ත්‍ර 60 අධ්‍යායේ (47) වැසි කාලයේ වැවෙන හතු වර්ගයක් යනුවෙන් සඳහන් කර ඇත.

මාත්‍රා

රත්තිකා 5-10 දක්වා නිද්‍රා කාරක වේ.

රත්තිකා 2-5 දක්වා රක්තවාපාධික්‍ය

රසායනික උපාදාන

0% ක් උප ක්ෂාර ද දුම්මල විෂට හා ලවණ අංශය සහිත කැල්සියම්, මැන්ගනීස් යන පදාර්ථයන්ගෙන් යුක්තයි. ටැනින් ජාතියට අයත් කසට උපාදාන කිසිවක් නැත.

අධික රුධිර පීඩනයට

ඒකාවේරිය මුල් චූර්ණය රත්නිකා 2 1/2 – 5 දක්වා

අනුපාන

වතුර කිරි හෝ රෝසමල් අර්කය සමග යෙදේ.

කර්ම

රක්ත සංවහන ව්‍යුහයෙහි

හෘදයාවසාදන රක්ත වාහිනි ප්‍රසාරක හෙයින් රුධිර පීඩනය පහත හෙලීම යන කර්මයන් ප්‍රකාශ කෙරේ.

නාඩි ව්‍යුහයෙහි

උෂ්ණ වීර්ය හෙයින් වේදනා ස්ථාපනද නිව්‍රාජනක ද වේ. වාත ශාමක හෙයින් මස්තිෂ්ක ගත උත්තේජනය ශාන්ත කෙරේ.

අන්න පචන ව්‍යුහයෙහි

තික්ත හා උෂ්ණ හෙයින් දීපන පාචන පිත්තසාර ශුල ප්‍රශමන හා කෘමිස්නයි. තික්ත රස නිසා ආමපාචනයි.

සර්ප විෂ හා වෙනත් ජංගම විෂ අති ප්‍රශස්තයි

ඒකාවේරිය මුල් චූර්ණය ඉතා තික්ත නිසා රෝස මල් බහාලු ජලය සමඟ සීනි පානයෙන් තික්ත රස තරමක් අඩු වේ.

තද උණට

මුල් චූර්ණය සීතල ජලය හා සීනි සමඟ දවසට 2 වරක් උදේ, සවස

ජංගම විෂට

ඒකාවේරිය මුල් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑමෙන් සුවවේ. විෂ නසි.

සෙම් ගෙඩිවලට

ඒකාවේරිය මුල් එළබටු ගෙඩි දොඩම් ඇඹුලෙන් අඹරා ගෑමෙන් සුවය ලැබේ.

උපයෝගි ග්‍රන්ථ

ඖ. සං. (ii) සහ (iii) පෙල

දේශීය ශබ්ද කෝෂ කිරි ඇල්ලේ ඤාණවිමල හිමි

පරිවය සුශ්‍රැත උත්තරස්ථාන 60 අ 47 ‘” සංකල්ප 5 අ. 84 එක සරගණය අෂ්ඨාංග හෘදය සංහිතා උ. 5. අ

වෛද්‍ය එච්. පී. කේ. දහනායක,
වෛද්‍ය අධිකාරි II,
ආයුර්වේද මහ රෝහල,
කොළඹ 08.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top