එළ බටු

BOTANICAL NAME – Solanum melongena L.

FAMILY – SOLANACEAE

පර්යාය

වෘහති
වෘත්තාක
වර්තාක
වර්තාකි
සිංහි
ක්ෂුද්‍රහාන්ටාකි
කුලි
හිංගුලි
රාෂ්ට්‍ර
මහෝටි
දුෂ් ප්‍රධර්ෂණි

සිංහි
සිංහ නාදය වැනි උස් කට හඬක් ඇති කරන, අර්ථය ද දී ඇත.

මෙම ඖෂධය නිගණ්ඩු කාලයේ පවා ව්‍යවහාරයට ගෙන ඇති බව ” බටු…. බෘහති භීඬගුලි සිංහි වාර්තාකි රාෂ්ට්‍රකී ශිරඃ ” ආදි ශ්ලෝක අර්ධයෙන් පෙනීයන්නේ හෙල බටු විග්‍රහ කරන ආකාරයයි. මෙය සරස්වතී නිගණ්ඩුවෙන් උපුටා ගත් කොටසකි. මේ අනුව අපට පෙනීයනුයේ නිගණ්ඩු කාලයේ දී පටන් මේ ඖෂධය උපයෝගී කරගත් බව ය.

පැරණි ටීකාවල ද එළබටු ගැන විවිධ මත පල කර ඇත. තවද ‘ අථ වෘහති ” නාමය සාමාන්‍ය බටු වන අතර ” අථ ශ්වේත වෘහතී ” නාමය එළබටු යනුවෙන් නිගණ්ඩු ශාස්ත්‍රයේ වෙන වෙන ම දක්වා ඇති අතර මේ දෙකෙහිම ගුණයන් සමාන බවද පෙන්වා දී ඇත.

මහා වෘහති වම්බටු හෙවත් මහ බටුය. ” මහා වර්තකා කීනි ස්ථුලවෘහති (ව) මහාඵලා ” තිබ්බටු හෙවත් හීන් බටු මේ ආකාරයට හඳුන්වා ඇත. එනම් ” ක්ෂුද්‍ර වාර්තාකිණි ” ලෙස වේ.

ඇතැම් අය වෘහති ශබ්දයට එළබටු සහ කටුවැල් බටු යන දෙවර්ගය ම ගනී. ඊට කරුණු ලෙස පෙන්වා දී ඇත්තේ එළබටු සහ තලන බටු යන දෙවර්ගය ම වෘහති ප්‍රභේද නිසා නිසාය. ඒ අතර තලන බටු නීල පුෂ්ප වන වන අතර, එළබටු ශ්වෙතපුෂ්ප යනුවෙන් හඳුන්වා ඇත. ඒ බව ලඝු පංච මූලය, දශමූල සහ ඒරණ්ඩ සප්තකය යන ආදියෙන් ද පැහැදිලි වනුයේ එළබටු, කටුවැල්බටු, දෙවර්ගයම එකට යොදන බවය. බොහෝ පොත් වල වෘහතීද්වය යනුවෙන් දක්වා ඇත. මේ වෘහතිද්වය යන්නට කලෙක සිටම අප රට අර්ථ කරනුයේ කටුවැල්බටු වලට ය. එහෙත් පැරණි ටීකාවන්හි වෘහතිද්වය හඳුන්වනුයේ ක්ෂුද්‍ර වෘහති සහ වෘහත් වෘහති යනුවෙනි. ක්ෂුද්‍ර වෘහති යනු තලන බටු ද වෘහත් වෘහති යනු එළබටු ද යනුවෙන් හඳුන්වා දී ඇත. කෙසේ වෙතත් බොහෝ දෙනා වෘහතීද්වය ශබ්දයට ගන්නේ කටුවැල් බටු සහ එළබටු බව අප දන්නා කරුණකි.

එළබටු වචනාර්ථය ගත් විට සුදු වර්ගයේ බටුය. ශ්වේත වෘහති. ශ්වේතවෘත්තාක, ශ්වේත වාර්තාකිණි යන නම් වලින් ඒ බව පැහැදිලි වේ. මේ වර්ගය කලාතුරකින් දක්නට ලැබේ. නිතර අප ප්‍රයෝජනයට ගන්නා එළබටු (තැලුම්බටු) වෘත්තාකි. වාර්තාකි යන නම් වලින් මේ බව පැහැදිලි වේ. සංස්කෘත නාමය වශයෙන් වෘහති, සිංහ යන තැන්වල එළබටු හෙවත් කැලුම්බටු ගැනීම සුදුසු බව සඳහන් කර ඇත. ඒ වගේ ම වට, දිගැටි, කුඩා මහත් ආදී ප්‍රභේද වශයෙන් වෘහති වර්ග කීපයක් දක්නට ඇත. ඒවායේ ගුණයන් ද සමාන බව සඳහන් කර ඇත.

වෘහති හෙද

(1) ක්ෂුද්‍ර ඵලා

(2) වෘහත්ඵලා

(3) ක්ෂවිකා

(4) ශ්වේත වෘහති

වෘන්තාකි හෙද

(1) මාංසල ඵලා, වෘන්තඵලා, වාතංකු

(2) ශ්වේත වාතංකූ (කුක්කුටාණ්ඩ සම)

(3) සදාඵලා, වාර්තාකු

(4) වනජා

(5) ගොෂ්ඨ වාර්තන්කු

වැවෙන ප්‍රදේශ

වියලි කලාපයේ හේන් ගොවිතැන් කරන ප්‍රදේශ වල අධික වශයෙන් වැවෙන අතර ඉන්දියාවේ සහ ලංකාවේ මෙම ශාකය ඉතා විශාල ලෙස වැවේ.

කුලය

කණ්ටකාරි කුලය (Solanum melongena Linn. Solanaceae) එළබටු. කටුවැල්බටු, තිබ්බටු මෙම කුලයට අයත් වේ.

වර්ගීකරණය

ශාඛා වර්ග යටතේ දී මෙය ආකාර භෙදයට අනුව ක්ෂුප කොටසට අයත් වේ. මේවා අයත් වන ගණයන් ලෙස,

(1) වරුණාදි ගණය

(2) විදාරි ගන්ධාදී ගණය

(3) වෘහත්‍යාදි ගණය

(4) ස්වර කාරක ගණය

(5) කන්ධ්‍ය ගණය

(6) හික්කානිග්‍රහණ ගණය

(7) ශ්වයථුහර ගණය

(8) අංගර්මදි ප්‍රශමන ගණය

(9) අස්ථාපන ගණය

(10) අපතර්පන ගණය

(11) සුළු පස් මුල ගණය

මේවායේ කටුවැල් බටු ද එළබටු වලට අමතරව අඩංගු වේ.

පැලෑටි ගුණ විස්තර

රස

මධුර

විපාක

මධුර

ප්‍රභාව

උෂ්ණ

ගුණ

අශෝසස්න

ලඝු, රූක්ෂ, තීක්ෂණ

විශේෂයෙන් ප්‍රයෝජනයට ගනුයේ මුල්ය. තවද එළබටු දළු, ගෙඩි, ඇට ඖෂධ පිණිස යොදා ගනී. රසායනික ගුණ ලෙස ගෙඩි සහ මුල් වල ඉටි තෛල අම්ල සහ සොලනික් උපක්ෂාරය ඇත.

මේරූ ගෙඩි ත්‍රිදෝෂ සමනයි. උෂ්ණ ගුණයෙන් යුක්ත නිසා කළු වාතශමනය කරයි. මධුර රස නිසා පිත් ශමනය කරයි. මෝරන ලද ගෙඩිවල කටුක භාවය නිසා තුන්දොස් කෝප කරයි. දීපන පාවන ග්‍රාහි ගුණයන්ගෙන් යුක්තය. සෙම නසන නිසා කැස්ස ඇදුම ස්වර හෙද වැනි පීඩා වලට ගුණ දායකය. බාහිර වශයෙන් වේදනා නාශක ගුණ පවතී. දද, කැසිලි, කුෂ්ට ආදියට ගුණ දායකය. බටු සාමාන්‍යයෙන් වාජිකරණ ගුණයෙන් යුක්ත ඖෂධයක් ඖෂ ලෙස සැලකෙයි. වම්බටු වල ද මෙම ගුණය පවතින බව සඳහන් වේ.

රක්ත සංවහන ව්‍යුහය

බීජ වල හෘදය උත්තේජනය කරන ගුණ ඇත.

නාඩි ව්‍යුහය

අභ්‍යන්තර වශයෙන් වේදනා නාශකය.

ස්වසන ව්‍යුහය

බීජ, පත්‍ර, මුල, ශ්වාසකාස නාශක ගුණයෙන් යුක්තය.

අන්න පචන ව්‍යුහය

රෝචන, දීපන, අනුලෝමන සහ අර්ශොස්නය, යකෘත් උත්තේජක, පාචකය. හෘදයට හිතවත්

මුත්‍රණ ව්‍යුහය

ඵල මුත්‍රකාරකය

තාප ක්‍රමය

ජ්වර නාශක ගුණය පවතී

සාත්මිකරණය

බල්‍ය, වෘන්හණ, විෂස්නය

මාත්‍රාව

ඒකීය ඖෂධයක් වශයෙන් මුලේ පොතු වර්ණය, රක්තිකා 3 සිට 6

ගෙඩි වර්ණය රක්තිකා 1 සිට 2. පංචාංග ක්වාථ කර්ෂ 5-10

සංරක්ෂණ විධි

බෙහෙත් සඳහා ගනු ලබන අමු ද්‍රව්‍ය මනාව වියලා හොඳට ආවරනය කල පවිත්‍ර භාජනවල හෝ ගෝනි මළු වල අසුරා වාතාශ්‍රයෙන් තොරව තැන්පත් කල යුතුය. මෙසේ පිළියෙළ කරන ලද මේවා නාම සහිත ලේබල් අලවා ගුණ හීන වන කාලය සඳහන් කල යුතුය.

යෝග සංග්‍රහය

කෂාය

ඉරමුසු ආදී කෂාය. කණ්ට කාර්යයාදි ක්වාථය (ii) ග්‍රන්ථින්ද්‍රාදී මහ කෂාය. එරණ්ඩ සප්තකය. තාමලල්‍යාදී කෂාය, තුන්දොස් කෝල කෂාය, දශමුල් කෂාය දෙනිඹ දෙබටු ආදි කෂාය, නාගරාදි නාගරාදි කෂාය. කෂාය. බලාමුස්තාදිය, බිල්වා මෘතාදි කෂාය. භාග්‍යාදි කෂාය, මල් කෂාය, මුස්තා ශුණ්ඨි, යක්ෂායාදි කෂාය, වෘහත්‍යාදි ගණ ක්වාථය, වෘහත් ශාල පණ්‍යාදි ක්වාථය සුලු පහ ආදි කෂාය, හරිද්‍රාදි ගණ ක්වාථය

චූර්ණ

සුදර්ශන චූරණය

අවලේහ

ව්‍යවන ප්‍රාශය

අරිෂ්ටය

දශමූලාරිෂ්ටය, පුර්නනවාස, දනාත්‍යාරිෂ්ටය

තෛල

අශ්වගන්ධාදි තෛලය, නාරායණ තෛලය, නීල රාජ තෛලය, බටු තෙල. මහාවාත මෙඝ තෛලය, මහා මාෂ තෛලය, යම දේවරාජ තෛලය, ලොකනාථ තෛලය, වාත විදුරංගාදී තෛලය, විෂ්ණු තෛලය. ශ්වාස වජ්ර තෛලය. ශුෂ්ක මුලකාදී තෛලය, සිද්ධාර්ථ තෛලය.

සෘත

ඉන්දු කාන්ත, කල්‍යාණ සෘත, අගස්ථි හරිතකි.

අනුපාන

මාතා වෘහති අනුපාන

විවිධ සංස්කරණ සහ යෝග

දෝෂ ප්‍රයෝග – ත්‍රිදොෂ ජව්‍යාධීන්හි මුල් හා කෝමල ඵල ප්‍රයෝජ්‍යය

බාහ්‍ය ප්‍රයෝග

ශොථ හා වේදනා යුක්ත ස්ථානයන්හි ගෙඩි තම්බා අඹරා ප්‍රලේප කරයි.

දන්ත ශුලයෙහි

බීජ දවාගත් දුම් ඇල්ලීමෙන් සුවය ලැබේ.

ඉන්දුලුප්තයෙහි

එළබටු ගෙඩි යුෂ මී පැණි සමග ආලේප කිරීමෙන් සහ එළබටු ඇට දෙහි ඇඹුලෙන් අඹරා ගෑමෙන් සුවය ලැබේ.

අර්ශස් රෝගයට

ගෙඩි තලා වියලා ගත් දුම් ඇල්ලීමෙන් අර්ශස් ගෙඩි වල වේදනාව හා ඉදිමුම සුව වේ.

ශිශූ වමනයේදී

ලදරුවන්ගේ කිරි වමනයට එළබටු ගෙඩි යුෂ මී පැණි සහ ගිතෙල් සමඟ ලේහ කිරීමෙන් ගුණ ලැබේ.

කෘමිකර්ණයෙහි

කනෙහි පණුවන් හටගත් විට එළබටු ගෙඩි තලා වියලා දවාගත් දුම් ඇල්ලී මෙන් කෘමිහු නෂ්ට වේ.

සංග්‍රහ ග්‍රහණියට

වෘහති මුල් චූර්ණය තක්‍ර සමග බොන්නට දීම

ප්‍රතිනිධි

පැරණි වෛද්‍යවරුන් අතරින් බොහෝ දෙනා අද ඖෂධ පිනිස ගනුයේ එළබටු වෙනුවට තිබ්බටු, නස්නාරන්, කටුවැල්බටු වැල් වේ.

උපුටා ගත් ග්‍රන්ථ

සරස්වතී නිගණ්ඩුව

ආයුර්වේද සංග්‍රහය – ප්‍රථම පියවර – i, ii, iii කොටස

භෛෂජ්‍ය විශ්ව කෝෂය

භාව ප්‍රකාශය – 1 කාණ්ඩය

භෛෂජ්‍ය රත්නාවලිය

වෛද්‍ය. ඩී. පී. ආර්. වෛද්‍යවංශ
නේවාසික වෛද්‍ය නිළධාරි
ආයුර්වේද රෝහල
බොරැල්ල.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top