BOTANICAL NAME – Nymphoides indica (L.) Kantze. Rev.
FAMILY – MENYANTHACEAE
ENGLISH ΝΑΜΕ – Water lily
පොදු සිංහල නම – ඕලු
දෙමළ නම – අල්ලිටමරෙයි. අම්බල්
හින්දි – කිවින්
සංස්කෘත නාම
සුගන්ධිකා
කලරකා
කුමුදා
උත්පල
සලුකා
සොමක්
වරිජා
පර්යාය නාම
කුවල
කූවලය
කන්දෝට කුමුදු
කෛරව ශ්වේතෝත්ඵල
සෞගන්ධික
කල්ලාර ශාලුක (රතු වර්ගය), හල්ලාක
රක්ත සන්ධ්‍යක, ශ්වේත ගුණ්ඩික
ලාල් සුත් දී, ජලකන්ද
ප්‍රභේද
වර්ණයට අනුව මෙය තෙවැදෑරුමය. නිලුපුල්, රතුපුල්, නෙලුපුල්, වශයෙනි. මෙයින් නෙලුපුල් යනුවෙන් හඳුන්වා ඇත්තේ ඕලු යන්න බැව් පොත පත්හි සඳහන් වේ. ඕලු ඇත් ඕලු වශයෙන් ද සිංහල ව්‍යවහාරයෙහි ඕලු වර්ග දෙකක් දැක්වේ.
කුලය
කමල
ඕලු ඉන්දියාව, ලංකාව ආදී රටවල වැව් පොකුණු ආදී ජලාශ්‍රිත ප්‍රදේශ වල වැවෙන අලංකාර ජලජ පැළෑටියකි. ඕලු යන්න කූවලය ශබ්දයෙන් බිඳී ආවකැයි. සමහරුන්ගේ මතය වන අතර එය ශාලුක ශබ්දයෙන් බිඳී ආවකැයි, තවත් සමහරකුගේ මතය වේ. ශාලුක ශබ්දයෙන් පස් පියුමෙහි ද අලය හඳුන්වනු ලැබේ. කූවලය යනුවෙන් උපුල් හඳුන්වනු ලබයි.
ඕලු වර්ග තුනක් ඇත. ඇත් ඕලු, තෙල් ඕලු, කුඩා ඕලු වශයෙනි. පණු ඕලු නමින් හැඳින් වෙන්නේ හෙල්මැලිය. එය පස් පියුම් ගණයට අයත්ය. එහි මල් සුදු පාටය. ඒ පැළැටියේ මලෙහි පියුම් ගණයට අයත් ලකුණක් ද නැත.
ඕලු මුලෙහි ගැලික් සහ ටැනික් අම්ලය ඇත. පිෂ්ඨ ධාතු සහ මැලියම් අන්තර්ගතය. ක්වාතයන්හි යෙදේ.
ඕලු මුල් ගුරු, රූක්ෂණ උෂ්ණ ගුණයෙන් යුක්තය. මල් ස්නිග්ධ මාර්දව කර ශීත සංග්‍රාහී ස්වප්න ජනක, දාහ ප්‍රගමන, කාමාවසාදකර, වීර්යයෙන් පුෂ්ටිකර හා දෝෂතාරල්‍ය ජනකය. ශීත වීර්යයෙන් හා ප්‍රභාව විසින් ස්වර්ජන දෝෂය මර්දනය කෙරේ. ඕලු මුල් හා ඕලු බත් දාහ ප්‍රශමනය කෙරේ.
ඕලු අලය ශීත, පිච්ඡිල ස්නිග්ධ වන අතර රසයෙන් මධුරද වීර්යයෙන් ශීත ද කර්ම විසින් ආහ්ලාද කරද වෙයි. වෙයි. අල හා දඩු ඇඟ නිවීමට අධික සෘතු වීමට හා ඇඟ උණුකරවා යාම ආදියටද ව්‍යංජන පිණිස යෝග්‍යයි. අල දියවැඩියා රෝගීන්ට ද හොඳයි. ගොනෝරියා රෝගීන්ට ද ගුණයි.
දෝෂ කර්ම වශයෙන් කළු පිත්ත ශාමක ත්‍රිදෝෂ හරවේ.
බාහ්‍ය කර්ම දාහ ප්‍රශමනය
අභ්‍යන්තර වශයෙන් රක්ත සංවහන ව්‍යුහයෙහි හෘදය සහ රක්ත පිත්තශාමකය. නාඩි ව්‍යුහයෙහි මේධ්‍යය. අන්න පවන ව්‍යුහාවෙහි ඡර්දි නිග්‍රහන තෘෂ්ණ (පිපාස ) නිග්‍රහන හා ස්තම්භකය.
ප්‍රජනන ව්‍යුහාව කෙරේ බලපෑමේදී ගර්භ ස්ථාපන වේ. තාප ක්‍රමය ජවරස්න වේ. දාහය ශමනය කරයි. සාත්මි කරණය. බල්‍යය හා විෂනය.
දෝෂ වශයෙන්
කළු පිත්ත හා ත්‍රිදෝෂජ රෝගයන්හි යෙදේ.
බාහිර වශයෙන් දාහ අවස්ථාවට මල් ස්පර්ශ කිරීම හා ලේප කෙරේ.
අභ්‍යන්තර වශයෙන් රක්ත සංවහන ව්‍යුහයෙහි හෘද් රෝගය හා රක්තපිතයෙහි යෙදේ.
නාඩි ව්‍යුහාවෙහි දොර්බල්‍යය (දුබල බව) මුර්ඡ, අපස්මාර අවස්ථාවන්හි යෙදේ.
වමන තෘෂ්ණ, අතීසාර, රක්තාර්ශස් රෝගයන්හි යෙදේ. ඕලු ඇට බත් මධු මේහයෙහි ප්‍රශස්ත ආහාරයකි. ගැබිණි අවස්ථාවෙහි සේවනයෙන් ගර්භ ස්‍රාව ආදිය වළක්වයි.
මල් කෂාය සඳහා යෙදේ.
ඕලු මල්, නෙලුම් මල්, නාමල්, සමන්පිච්ච මල්, මී මල්, රෝස මල් සමභාගව ගෙන කලං 12 පත 8-1 ට සිඳ දීමෙන් දාහ රත්පිත්, රක්තසුව ආදී රෝග අවස්ථා වලට ගුණයි.
උපුටා ගත් ග්‍රන්ථ
ආයුර්වේද ඖෂධ සංග්‍රහය ප්‍රථම පියවර ii හා iii වෙලුම. භෝජන සංග්‍රහය.
වෛද්‍ය චන්ද්‍රා සමරරත්න,
වෛද්‍ය නිළධාරි,
ආයුර්වේද රෝහල,
බොරැල්ල.



