BOTANICAL NAME – Bombax ceiba L.
FAMILY – BOMBOCACEAE
ENGLISH ΝΑΜΕ – White silk cotton
එළ ඉඹුල්
උද්භිද විද්‍යා නාමය – Ceiba Pentandra
පොදු සිංහල නම – ඉඹුල්, පුළුන්, කොට්ට පුළුන්, පුළුන් ඉඹුල්
දෙමළ නාමයන් – ඉලවම්, කරුක්ක නම්, පන්ජි
හින්දි නාම – හැට්ටියන්, කටන් සැනොඩිසෙමාල්
සංස්කෘත නාමයන් – විරායු, රෝචනා, කූටශාල්මලි, ශාල්මලි, කුට්සිට ගල්මලී, මෝච, ස්ෂීරායු, ස්වේත ශාල්මලී
ආයුර්වේද මතයට, මල්වල වර්ණය අනුව ප්‍රධාන වර්ග 2 කි.
- එළ ඉඹුල් (සුදුමල් හටගන්නා වර්ගය)
- කටු ඉඹුල් (රතු මල් හටගන්නා වර්ගය)
මීට අමතරව රෝහිතක නමින් හැඳින්වෙන විශේෂයක් ද ඇත. එයට කූට ශාමලී යන නාමය ද ව්‍යවහාර කෙරේ.
එළ ඉඹුල් හෝ පුළුන් ඉඹුල් (Ceiba pentandra)
සාමාන්‍යයෙන් අධි 50 ක් පමණ උසට වැවෙන ගසකි. අඩි 100ක් පමණ උස ගස් ද දක්නට ලැබේ. ගසේ හරස් අතට විහිදී යන ශාඛා එක් එක් වලයක 3 බැගින් ඇත. ගස පතනගිලිය. ශාකය පරණ වන තුරු එහි පොත්තෙහි කටු තිබේ. පොත්තෙහි වාසිදුරු බොහොමයක් ඇත. පොත්තෙන් සුදුපාට මැලියම් වර්ගයක් පිට වේ. කොළ සංයුක්ත ය. මල් සුදුපාටය. මලක විෂ්කම්භය අඟල් 2 පමණ ය. මලේ කීලය බෙදී නැත. අඟල් 4 ක් පමණ දිග ඵලය කොළ පාට ය. ඇට සියුම් පුළුන් වලින් වැසී තිබේ. මේ පුළුන් ස්වේටිකාවේ අභ්‍යන්තර බිත්තියෙන් හටගන්නා ප්‍රසරයකි. ලංකාවේ පහතරට වියළි ප්‍රදේශයන්වල වේ ශාකය දක්නට ලැබේ. කලින් මෙය එරියොඩෙන්ඩ්රොන්, අන්ත්රක්වුවෝසුම යන නමින් හැඳින් විනි. ජනවාරි, මාර්තු වල දී මල් හට ගනී.
එළ ඉඹුල් වල අඩංගු දේ
එළ ඉඹුල් අලවල – තෙල් පදාර්ථ ඇත.
මුලෙහි සහ මල් වල – හයිඩ්රොසයනික ඇසිඩ් ඇත
පොත්තෙහි – ටැනින් ඇත
පැසුණු කොළ – යකඩ හා කැල්සියම් බොහෝ ඇත
ප්‍රයෝජන
මුල
කාලීන අතීසාර, ප්‍රවාහිකා, ජලෝදර ආදී රෝග අවස්ථාවන් සඳහා ගනු ලැබේ.
ගොනොරියා, ප්‍රවාහිකා සඳහා ගනු ලැබේ.
ඉඹුල් මැලියම්
ප්‍රවාහිකා, අතීසාර, වරින් වර මුත්‍රා පහවන ළමයින්ට දෙනු ලැබේ.
ගෙඩි වලින් ලබාගන්නා කෙඳි සහිත පුළුන්
කොට්ට, මෙට්ට සෑදීමට ගනු ලැබේ.
ඇට
ඇට වලින් ලබා ගන්නා තෙල්, සබන් සෑදීමට ගනු ලැබේ.
පැසුණු කොළ
ආහාරයට එළවළුවක් ලෙස ගනී. කැස්ස, අන්ත්‍ර රෝග, මුත්‍ර ප්‍රදාහ වලදී ගනු ලැබේ.
මලයාසියාවේ
පොත්ත ප්‍රයෝජනයට ගන්නේ – මුත්‍රාකාරක හා ඇදුම, කැස්ස වැනි රෝග අවස්ථාවල දී වේ.
ජාවා රට
මුත්‍රාශයේ ගල්දිය කිරීම සඳහා පොත්ත ප්‍රයෝජනයට ගනී.
කටු ඉඹුල්
උද්භිද විද්‍යා නාමය – Salmalia malabarica
කුලය – BOMBACACEAE
දෙමළ නම් – අගිහි, ඉලවම්, ඉලවූ, කොන්ගු
හින්දි නාම – සෙමුල්, සෙමුර්, සීමාල්, රාගට් සීමාල්
සංස්කෘත නාමය ( පර්යාය නාම)
අපුරාණි
දුරා රෝග
ධහුවිර්ය
මෝචා
විරායු
මෝවනී
චිරජීවී
නිස්සාර
පුරාණි
නිර්ගන්ධපුෂ්ප
ශාල්මලී
රම්යපුෂ්ප
දිසිධ්රැම
රක්ත පුෂ්ප
දීර්ඝායු
ස්ථරායු
යමධ්රැව
ස්ථුලපල
ශිමුල
ශාකයේ ස්වභාවය. උත්පත්ති ස්ථාන, ඖෂධීය ගුණ ආදී අනිකුත් කරුණු සඳහන් කරන්න.
සල්මා ලියා මලබාරිකා ශාකය (Salmalia malabarica) කටු ඉඹුල්
අඩි 100 ක් පමණ උසට වැඩෙන සෘජු කඳක් ඇති ශාකයකි. එහි කඳ කරු මුල් සහිතය. හරස් අතට වලයයන් ලෙස පිහිටා තිබෙන ශාකවේ. ශාකයේ විශේෂ ලක්ෂණයකි. ගස පරිණත වනතුරු පොත්තෙහි තන්හි තන්හි කටු තිබේ. සංයුක්ත කොළයෙහි පත්‍රිකා 5 – 8 දක්වා ඇත. ඇත. පත්‍රිකා නිර්වාන්තය පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ කටු ඉඹුල් ගසේ කොළ වැවේ. අඟල් 3 ක් පමණ විෂ්කම්භයක් ඇති මල් ල්ලා රතු පාටය. මල් පිපෙන්නේ ජනවාරි හා පෙබරවාරි මාසවලදීය. කොළපාට තර්තු රූපී ඵල ය. අඟල් 6 සිට 10 දක්වා දිග ය. සියුම් පුළුන් වලින් වැඩි තිබෙන ඇට බොහොමයක් ඵලයෙහි තිබේ. මේ පුළුන් සෑදෙන්නේ අණ්ඩපයන්ගේ බිත්ති වල ප්‍රසරයක් වශයෙනි. ලංකාවේ පහතරට පෙදෙස්වල මේ ශාකය බහුල ය. කලින් මේ ශාකය බොම්බක්ස් යනුවෙන් හැඳින්විණි.
උත්පත්ති ස්ථාන
ඉන්දියාව, මලයාව, ජාවා, සුමාත්‍රා
ශ්‍රී ලංකාවේ උස් ප්‍රදේශවල අඩි පාරවල් අසල විශේෂයෙන් ඌව ප්‍රදේශයේ පතන භුමිවල දක්නට ලැබේ. එය බොහෝ විට වවනු ලැබේ. බලංගොඩ හා දඹුල්ල වැනි ප්‍රදේශවල විශේෂයෙන් වැවේ.
සල්මලියා ඉන්සිග්නිස්
අඩි 40 ක් පමණ උසට වැඩෙන සෘජු කඳක් ඇති ගසකි. මේ විශේෂය වඩා කුඩාය. ගසේ පොත්තේ කටු තිබේ. සංයුක්ත කොළයේ පත්‍රිකාවල ලා රතුපාට දිග වෘත්ත තිබේ. මල් ලා රතුපාට ය. මේ ශාකයේ ඇටත් පුළුන් වලින් වැසී තිබේ. සුදුපාට මෘදු ලිය පෙට්ටි, කුඩා ඔරු, හා ගිනිපෙට්ටි සෑදීමට පාවිච්චි කරනු ලැබේ.
පොදුවේ කටු ඉඹුල් හා එළ ඉඹුල් වල ගුණ
ශීතලය. ස්නිග්ධය, ශුක්‍ර, ශ්ලේශ්ම වර්ධනය කරයි. වීර්ය වඩයි. තර කරයි. රක්ත පිත්ත නසයි. රස පැසීමෙහි යහපත් වෙයි. මැලියම් කසට රසයෙන් යුක්තය. මල බද්ධය ඇති කරයි. බල වඩයි. ධාතු වර්ණ හා නුවණ වඩයි. ශීතලයි.
සේවනය කරන්නා වයස නොගියාක් මෙන් පෙන්වයි. සෙම වඩයි. වාතය නසයි. අතීසාර, ප්‍රවාහිකා, රක්ත රෝග, පිත් දාහ. අමාතීසාර, රක්තාතිසාර, නැති කරයි. පුළුන් හා ඵල ද යථොක්ත, ගුණ ඇත. ඉඹුල් පොතු වුණ ගිර්වාපණයටද සර්ප විෂට ද, ඉඹුල් නැටි පංචාතීසාර, රක්ත පිත්ත, ප්රවාහිකාදී රෝගයන්ටද, ඉඹුල් මුල් ශුක්‍ර විවර්ධනයට ද ඉඹුල් මල් ප්ලිහ, රත්පිත, ප්‍රදර රෝගයන්ටද භාවිත කරයි.
රෝහිතක:
පර්යාය නාම :- කූට ගල්මලී
මෙම වර්ගයේ ගුණ ලෙස
ශීතලය, බල ශෝධනය කරයි. මෙන් පසු කටුෂ්ණ ගුණ ඇත්තේය. යකෘත්, ලිභ, ගුල්මෝදර නසයි. වියලි එයින් කණ රෝග හා විෂ වේග නසයි.
සුදුපාට මල් හටගන්නා ශ්වේත රොහිතක අතිශයින් ම ශීතලය. ස්නිග්ධය. කටුකය. කසට රසයෙන් යුක්තය. කෘමි, දෝෂ, ව්රණ ප්ලීහ හා නේත්‍ර රෝග නසයි.
ආශ්රිත ග්රන්ථ
සිංහල විශ්ව කෝෂය
ඖෂධ පැලෑටි
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



