ඉරමුසු

BOTANICAL NAME – Hemidesmus indicus Br.

FAMILY – ASCLEPIADACEAE

පොදු සිංහල නම – ඉරමුසු

හින්දි – කපුරි, සල්සා

බෙංගාල – අනන්ත මූල

ද්‍රවිඩ – නන්නාරි – උල්යාප්පු

ඉංග්‍රීසි – Indian Sarsaparilla

කුලය – අර්ක

සංස්කෘත – ශාරිබා

පර්යාය නාම

සුදු ඉරමුසු
සාරිබා
අනන්තා – කෙළවරක් නැති
ධවලා
දුශ්ධ ගර්භා
වන්දනා
ශාරදී
ප්‍රතානිකා
ගොපසුතා
ගොපා
ගොපාංගනා
ගොපී
ගොප වල්ලී
ශිශිරා
ශුකල ශාරිබා – සුදු පැහැති නිසා
ජණි ජිභවිකා – කොළය සර්ප දිවක් වැනි නිසා
සුගන්ධ මූලා – සුවඳ ඇති

ගොපකන්‍යා (ගොපලූ කත) ඉරමුසු පර්යාය වන ‘කෘෂ්ණා ‘ යන ශබ්දයට අනුව යාමෙන් ආවකි. ‘ කෘෂ්ණ ‘ විෂ්ණු අවතාරයක් සේ වෛදික ශාස්ත්‍රයේ දැක්වේ.

” කෘෂ්ණා ගොපලු ගමක වැඩුණු හෙයින් කෘෂ්ණාගේ මිතුරියන් හෝ කෘෂ්ණ ශබ්දයේ ස්ත්‍රී රූපය කෘෂ්ණා සේ ගෙන ඊට සමානවන සේ ගෝපි, ගෝපකන්‍යා ශබ්ද ඉරමුසු වලට යෙදී තිබේ.

කළු ඉරමුසු පර්යාය

ශ්‍යාමා – කළු වර්ණ
කෘෂ්ණා මූලි – කළු වර්ණ
කෘෂ්ණා වල්ලි
ශ්‍යාමලතාව, පාලින්දී, ගොපිනි. කෘෂ්ණා, ශාරිවා (ද්‍රව්‍ය ගුණ දර්පණය)

හෙල ඉරමුසු

වැවෙන ප්‍රදේශ – ඉන්දියාව, ශ්‍රී ලංකාව

ප්‍රභේද

  1. හිං ඉරමුසු – සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ඇති වර්ගයයි.
  2. මහ ඉරමුසු – මෙම වර්ගය දැනට ඉන්දියාවෙන් ආනයනය කරන වර්ගය යි.
  3. සුදු ඉරමුසු
  4. කළු ඉරමුසු

ව්‍යවහාරික අංග

සහමුල විශේෂ ක්‍රියාකාරිත්වය ඇත්තේ මුලේ පොත්තේ ය.

සෘෂි යුගයේ සිට ම භාවිත වී ඇත. ඒ බව චරක සංහිතාවේ කන්ධ්‍යා, වණ්‍ය, ස්තන්‍ය ශෝධක, ජිජ්වරහර යන ගණ වලට ඉරමුසු ඇතුලත් වීමෙන් පැහැදිලි වේ. සුශ්‍රැතයේ විදාරි හා සාරිබාදී ගණවල සඳහන් කර තිබේ.

වර්ගීකරණය

වරකයට අනුව

කණ්ථ්‍ය ගණය – සාරිබා (ඉරමුසු ප්‍රධාන වේ)

වර්ණය ගණය – සාරිබා (ඉරමුසු ප්‍රධාන වේ)

සතන්‍ය ශෝධන ගණය – සාරිබා (ඉරමුසු ප්‍රධාන වේ)

ජ්වරහර ගණය – සාරිබා (ඉරමුසු ප්‍රධාන වේ)

පිත්ත සංශ්‍රමන – සාරිබා ( ඉරමුසු ප්‍රධාන වේ)

සුශ්‍රැතයට අනුව

විදරි ගන්ධාදි – ඉරමුසු, කෘෂ්ණා සාරිබා (සාරිඛා සමන්විත වේ)

සාරිඛාදි – ඉරමුසු (සාරිඛා සමන්විත වේ)

ඉරමුසු ගුණ

” සාරිවා යුගලං ස්වාදු ස්නිගධං ශුක්‍ර කරං ගුරුඃ අග්නි මාද්‍ය රුචිසවාස කාසාං විෂ නාශනම් දෝෂ ත්‍රයාසු ප්‍රදර ජ්වරතීසාර නාශනම්

හා. ප්‍ර. නි.)

සුදු ඉරමුසු ගුණ

ශ්වේතාතු ශාරිවා ශිතා මධුරා ශුක්‍රලා ගුරුඃ

ස්නිග්ධ තික්තා සුගන්ධිශව කුෂ්ඨ කණ්ඩු ජවරා පහා දෙහ දෞගන්ධ්‍යාග්නි මාද්‍ය ශ්වාස කාසාරුචි හරා ආම ත්‍රිදෝෂ විෂ හෘද්‍රත්ත රු ප්‍රදරා පහා කජාතීසාර බෘද්ධි දාහ රක්ත පිත්ත හරා පරා වාතනාශ හරි ප්‍රොක්තො සෘෂි හිසකත්ව දර්ශිහිඃ

සුදු ඉරමුසු ශීතලය. මධුරයි. ශුක්‍ර වඩයි. බරයි. සිනිඳුයි. තික්තයි. සුවඳයි.

කුෂ්ඨ, දද, උණ, දෙහ දුගඳ, ගිනිමඳ බව, ශ්වාසය, කාසය. අරුචි, ආම. තුන්දොස්, විෂ, ලේ දොස්, ප්‍රදර රෝගය, සෙම, අතීසාර, පිපාස, දාහය රත්පිත හා වාතය දුරුකරයි.

කළු ඉරමුසු

කෘෂ්ණාතු ශාරිවා ශිතා වෂ්‍යාව මධුරා මතා කඑස්නි වෛව සංප්‍රොකතා ගුණ ශවන්‍යෙතු පූර්වවත්

(ද්‍රව්‍ය ගුණ නිසණ්ඩුව ඖෂධනාම අකාරාදිය -වෛද්‍ය ගේ බ්‍රියල් ගුණවර්ධන)

රස – මධුර, නිත්ත
ගුණ – ගුරු ස්නිග්ධ
වීර්ය – ශීත
විපාකය – මධුර

දෝෂානුරූප කර්ම

කළු සහ සුදු ඉරමුසු ත්‍රිදෝෂ ශාමකයි. මධුර රස හා ස්නිග්ධ ගුණ නිසා වාතය ද ශීත වීර්ය නිසා පිත ද තිත්ත රසය නිසා සෙම ද සන්සිඳුවයි.

ව්‍යුහගත කර්ම

බාහිර – ගොඑහර හා දාහ ප්‍රශමක වේ.

අන්න පවන ව්‍යුහය – දීපන. පාවන. රෝවන. අනුලෝමන, ස්තම්භන හි) යන කර්ම වලින් සමන්විත යි.

රක්ත සංවහන – රක්ත ශෝධන හා ගොඑන වේ.

ශ්වසන ව්‍යුහය – කඑග්න වේ.

ප්‍රජනන – වෘෂ්‍යයි. කළු ශෝධකය. ගර්භ ස්ථාපක ද වේ.

මුත්‍රණ ව්‍යුහය – මුත්‍ර ජනකයි. මුත්‍ර විරජනීය වේ.

ත්වවය – කුෂ්ඨස්න වේ.

තාප ක්‍රමය – දහ ප්‍රශමන හා ජිජ්වරස්න වේ.

සාත්මිකරණය – විෂස්න හා රසායන වේ.

ප්‍රයෝග (ආමයික)

දෝෂ ප්‍රයෝග :-

ඉරමුසු ත්‍රිදෝෂ රෝග විෂයෙහි භාවිත වේ.

ව්‍යුහගත ප්‍රයෝග :-

I. බාහ්‍ය

අභිෂ්‍යන්දයේදී ඉරමුසු ස්වරස ඇසට දැමීම ද දාහ හා ශොථ යන අවස්ථාවල මුල් අඹරා පිටින් ගෑමද යෝග්‍ය වේ.

II. අභ්‍යන්තර

අන්න පචන ව්‍යුහය :-

අරුචි, අග්නිමාද්‍ය, අජීර්ණ, අතීසාර ප්‍රවාහිකා යන අවස්ථාවල ගුණ දායක වේ.

රක්ත සංවහන ව්‍යුහය :-

වාත රක්ත, රක්ත විකාර, උපදංශය, පිරංග (ද්විතීය අවස්ථාව) ජීර්ණ ආම වාත, ලීපද, ගන්ඩමාලා යන රෝග අවස්ථා වලදී අතිශයින්ම උපයෝගි වේ.

ශ්වසන ව්‍යුහය :-

ඇදුම සහ කැස්ස යන සෙම් විකෘති අවස්ථාවලට යෙදිය හැකිය.

ප්‍රජනන ව්‍යුහය :-

ස්තන්‍ය විකාර, ශුක්‍ර දොර්බල්‍ය, ප්‍රදර, ගර්භ ශ්‍රාවය, යෝනි ව්‍යපත් යන අවස්ථා වල ප්‍රයෝග කරනු ලැබේ.

මූත්‍රල ව්‍යුහය :-

පිත්තජ, ප්‍රමේහ රෝග විෂයයෙහි හා මුත්‍ර කෘච්ඡුයෙහි ප්‍රයෝග වේ.

ත්වචය:-

විෂප විස්පෝඨ කුෂ්ඨ යනාදී චර්ම රෝගවල යෙදේ.

සාත්මිකරණය :-

පාන්ඩු, ගෝථ, විෂ සහ දොර්බල්‍ය යන අවස්ථාවල දී ප්‍රයෝග කරනු ලැබේ.

මාත්‍රාව :-

සාරිඛා එන්ටය – තෝලා 5-10 දක්වා.

කල්කය:-

මාෂක 3 6 දක්වා.

විශිෂ්ඨ යෝග :-

  1. සාරිවාද්‍යසව
  2. සාරි වාද්‍යාලේහ
  3. සාරිවාදීවටී
  4. සාරිවාදී ක්වාථ

විශේෂ යෝග :-

මී විසට – ඉරමුසු මුල් කසාය, ගිතෙල් සමඟ පෙවීම.

අර්ශසයට – ඉරමුසු හා කටරොඩු කල්කය කලගෙඩියක් තුළ තවරා එහි මෝරු දමා තබා කෑමට හා බීමට භාවිතා කළ යුතුය.

ව්‍රණ ශෝධනයට :-

තනිකර ඉරමුසු හෝ ඉරමුසු, දෑසමන්, කනේරු යන මේවායේ කොළ හෝ තම්බා වන සේදීම ප්‍රශස්ථය.

ආශ්‍රිත ග්‍රන්ථ :-

  1. වරක සංහිතාව
  2. සුශ්‍රැත සංහිතාව
  3. ද්‍රව්‍ය ගුණ විඥානය – පණ්ඩිත විලියම් අල්විස් වෙදගුරු
  4. ඉන්ඩියන් මැටීරියා මැඩිකා- දොස්තර නාකණි.
  5. ද්‍රව්‍ය ගුණ දර්පණය
  6. ද්‍රව්‍ය ගුණ නිඝණ්ඩුව – ඖෂධනාම අකාරාදිය

වෛද්‍ය ගේබ්‍රියෙල් ගුණවර්ධන

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top