ඇම්බරැල්ල (ඇඹරළු)

BOTANICAL NAME – Spondias pinnata (L.f.) Kurz.

FAMILY – ANACARDIACEAE

පොදු සිංහල නම – ඇම්බරැල්ලා, ඇබ්‍රැල්ලා, අම්බරංගා, ඇඹරළු

ඉංග්‍රීසි නාමය – Indian Hog-plum, White mango

හින්දි නාමය – අම්බා (AMBADA) ආමම්රා (ඩා)

දෙමළ නාමය – වම්බුලිචි, අම්පල්ලායි, මරිමංවඩි – MARIMANCHADI

බෙංගාල නාම – ආම්රා, ආම්ඩා

සංස්කෘත නාමය – ආම්රාතක (කුඩා අඹ බදු හෙයිනි).

පර්යාය නාම

මර්කටා ශ්‍රීම්ර – (කැලේ දී වඳුරනට ගොදුරු වන හෙයිනි)

පීතන – (ඉදුණු ගෙඩි වල ඇති වරණය අනුව)

කපීතන

කුලය – ආමර

හෙඩ් ඇඹ රළු යනු ආම්රාතක යන්නෙන් බිඳී ආවකි. ගම්පහ දිසාවේ ඇඹරළුව නමින් ගමෙකි. ඒ යන්න කොට ඇඹරැල්ල කැර ඇත්තේ බස නොදන්නවුන් විසිනි. ඇඹරළුව තවමත් එසේමය.

සාමාන්‍යයෙන් විශාලව වැඩෙන ගසකි. Spondias mangifera යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වයි. ලංකාවෙත්, ඉන්දියාවේත් නොයෙක් ප්‍රදේශ වල වැවේ. මෙම ගස සංස්කෘතයෙන් ” අධ්ව භෝගය ” යනුවෙන් හඳුන්වයි. එහි සිංහල අර්ථය පයින් ගමන් කරන්නන්ගේ කෑමක්? යන්නයි. (Travellers delight) පයින් ගමන් කරන්නන් මග යන විට දෙපස ඇති ගස්වල ගෙඩි කඩා ගෙන කෑමට ගැනීමෙන් සතුටට පත් වූ නිසා එසේ හැඳින් වූවා යයි සිතිය හැකිය. මෙම ගෙඩියේ මස ආම ය. අජීර්ණය යන අවස්ථාවන්හි යොදන එය ” පිත්තවෘක්ෂ ” යන නමින් ද හැඳින් වේ. ඉන්දියාව තුළ ස්වදේශික විදේශික වශයෙන් ප්‍රභේද දෙකකි. අමුගෙඩි කෑමට ද, අච්චාරු සෑදීමට ද වියළිමය බෙහෙතට ද යොදනු ලැබේ.

පැළෑටියේ ගුණ

රස

අමුගෙඩි ඇඹුල් ද කසට ද වෙයි
ඉදුනු ගෙඩි මිහිරි ද, කසට ද වෙයි. ලෙල්ල හා බැඳුණ කොටස
(මස) තුළ ඇඹුල් රසය වැඩි යි.
ඇටය හා බැඳුණ කොටස ඇඹුල් රසයෙන් අඩු යි. මිහිරි යි. ගෙඩිය ඇතුළත කටු කටු මෙන් දිස්වන, මඳක් තද, කෙදි සහිත ඇටයක් පවතී.

පොදු ගුණ

සරද, ගුරු ද රුචිකාරක ද වෙයි.

අමු ගෙඩි

රස – අම්ල
ගුණ – උෂ්ණ
වීර්යය – උෂ්ණ
විපාක – කටු

ඉඳුණු ගෙඩි

රස – මධුර
ගුණ – ශීත
වීර්යය – ශීත
විපාක – මධුර
ගුරුද, ස්නිග්ධ ද වෙයි.

තර්පණද කඵහර ද වෘෂ්‍ය ද වෘහණ ද විෂ්ටම්හි ද බල්‍ය ද වාත පිත්ත ක්ෂත දාහ ක්ෂය රක්ත දෝෂ යන මේවා පහ කරන්නේ ද වෙයි.

නිර්යාස සෙම මෘදු කරයි.

ඖෂධ පිණිස ගන්නා කොටස්

ගෙඩි, කොළ, පොතු, හා මැලියම් ඖෂධ පිණිස ගැනේ.

මාත්‍රාව

ස්වරස කර්ෂ 01 – 02 දක්වා

ක්වාථය කර්ෂ 05 – 10 දක්වා

ඇම්බරැල්ලා ගෙඩි පිත් ප්‍රබල අජිර්ණයේ දී යෙදේ. ප්‍රාණදායි (විටමින්) හීන වීමෙන් ශරීරයට වන හානිය මඟ හැරීමට යෙදේ. කොළ හා පොතු සුවඳවත් ය. කසට රසයෙන් යුක්ත යි. කොළ යුෂ කණ් ශුලයේ දී ආලේප කෙරේ. කොළ සහ පොතු, ක්වාථය අම්ලපිත්තය නසයි. ඇම්බරැල්ලා පොතු ශ්වේත ප්‍රදරයට ගුණයි. විෂ නාශක නිසා ඊතල වලින් වන තුවාල සුවය බලා පොරොත්තුවෙන් ගෙඩි ආහාරයට යෙදෙන බව දැක් වේ.

පිත සමනයට

ළපටි ගෙඩි යුෂ තෝලා 01

සූකිරි තෝලා 05

ගම්මිරිස් කුඩු ග්‍රෙන්ස් 08-10 මිශ්‍රණය

ගෘහඖෂධයක් ලෙස යෙදේ.

මධුමේහයේ දී

ඇම්බරැල්ලා ගෙඩි පලතුරක් වශයෙන් වැඩියෙන් යෙදේ. ගසේ පොත්තෙන් ගලන නිර්යාස දුම් ඇල්ලීම පිණිස යෙදේ. ඇඹරැල්ලා හෘද්‍යයි. වරක දශෙමානි හෘද්‍ය මහා කෂායෙහි එක් උපාදානයක් ලෙස දක්වා ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ

  1. ඉන්දියන් මෙටීරිය මෙඩිකා නාදර්කන
  2. සිංහල මෙටිරීය මෙඩිකා වෛද්‍ය ජෝන් ආටිගල
  3. ආයුර්වේද ඖෂධ සංග්‍රහය දෙවෙනි කොටස.
    ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si=ZlDNFDhxF4ZlRoT0

Scroll to Top