ඇඹුල් ඇඹිලිය

ඇඹුල් ඇඹිලිය

BOTANICAL NAME – Oxalis corniculata L.

FAMILY – OXALIDACEAE

පොදු සිංහල නම් – ඇඹුල් ඇඹිලිය, ඇඹුල් පලා

කුලය – වාංගෝරිකුල

හිංදි නාම – චුකා, ත්‍රිපටි, තීන්පතියා

බෙංගාලි නාමය – ආමරූල්

ද්‍රවිඩ නාමය – පුලියාරායි

ඉංග්‍රීසි නාමය – Indian sorrel

සංස්කෘත නාමය – වාංගේරි

පර්යාය නාම

අම්බෂ්ඨා, චුක්‍රිතා, දන්තශඨා, අලෝහිතා, අශ්ව මන්තක, අම්ල පත්‍රික, ශ පරී, අමේ ලාජා, කුශලි, ශුක්ලිකා

ඇඹුල් රසැති යන අරුත තීව්ර වන පරිදි අම්ල පුර්වක පර්යාය නාම යෙදී ඇත.

කහ පැහැති කුඩා මල් පිපෙන උඳුපියලි කොළයට හුරු කොළ ඇති. බුවක් සහිත සිනිඳු පත්‍ර සහ නටුවකින් යුතු කුඩා වැල පැලෑටියකි. මෙහි හටගන්නා කුඩා කරල් වියලී ගියාට පසු පිපිරි විසිර යාමෙන් වර්ගයේ අඛණ්ඩ පැවැත්ම ඇති කෙරේ. තෙතමනය පවතින භුමි භාගයන්හි සරු ලෙස වැවේ. ග්‍රීෂ්ම සමයෙහි වියලී පොළවෙහි තැන්පත් ව ඇති බීජ හා පැළයේ මුල්, මඳ වැස්සක් සමග සැසැඳී නැවත පැළ ඇති කරයි. මෙය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සුලභ පැළෑටියකි. වියලි කලාපයේද ජලාශ්‍රිතව මෙම පැළෑටිය දක්නට ලැබේ. ඖෂධීය ගුණ යුත් පලා වර්ගයකි. ගෙවුයන් හෙබවීම සඳහා පලස් එළුවාසේ පෙනෙන ලෙස වගා කළ හැකි ය.

ඇඹුල් සහිත පැළෑටියක් යන්න ධ්වනිත වන ලෙස ඇඹුල් ඇඹිලිය, ඇඹුල් පලා යන නාමයෙන් යෙදී ඇත.

ප්‍රභේද

මහ ඇඹුල් ඇඹිලිය
හීන් ඇඹුල් ඇඹිලිය

යනුවෙන් ප්‍රභේද දෙකකි.

ඖෂධ සඳහා ප්‍රචලිත ව භාවිත වන්නේ හීන් ඇඹුල් ඇඹිලිය යි.

රසායනික පදර්ථ අම්ල Potassium Oxalate අන්තර්ගතයි.

ඖෂධ පිණිස සකස් කර තැබීමක් නොවේ.

නෙළාගත් විගස ප්‍රයෝජනයට ගත යුතුය.

ව්‍යවහාරය අංග – සම්පුර්ණ පැළෑටිය.

යකෘතය කෙරෙහි ක්‍රියා කර ලේ වඩයි. පාචන සංස්ථානයේ ( පරිපචන යකෘතය කෙරෙහි ක්‍රියා කර ලේ වඩවයි. ව්‍යුහයේ ක්‍රියා කරන හෙයින් එම ව්‍යුහගත අජීර්ණ අතීසාර ග්‍රහණි අර්ශස් රෝගීනට ගුණ දායකය.)

අම්ල වර්ගයට අයත් මෙම පැළෑටිය වාසෙම් නසන අතර පිත්, ලේ වඩවන්නේය.

රස – අමල
ගුණ – ගුරු
වීර්ය – උෂ්ණ
විපාක – අම්ල

ආහාරමය ගුණ – ශක්තිය වඩන අජීර්ණ නසන පැළෑටියකි. අතීසාර අජීර්ණ රෝග සුව වූ පසු සාමාන්‍ය ආහාර දීමට ආරම්භ කිරීමේ දී ඇඹුල් ඇඹිලිය පලාවක් ලෙස ගම්බද ජනතාව භාවිත කරති.

ඇඹුල් ඇඹිලිය සමඟ පිසූ මස් සෙම, වාත, ආම, රුජා නසයි. මල බද්ධය බඩ ගින්න, ඇති කරයි. ආහාර රුචිය වඩයි. මනෝඥ ද අනුලෝම ද වේ.

මාත්‍රාව

ස්වරස කෝලා එකේ සිට දෙක දක්වා

ඇඹුල් ඇඹිලිය ස්වරස, අත්තන පාසාන රසදිය විෂ වූ අයට විස නැසීම සඳහා යොදනු ලැබේ. වණ, තුවාල, පිරිසිදු කිරීමට ද ගෙඩි පැසවීමට හා පිපිරවීමට ද භාවිත කෙරේ. ගිතෙල් මීකිරි සමඟ ඇඹුල් ඇඹිලිය යුෂ මිශ්‍ර කර ගින්නෙන් පිස ගුදබ්‍රංශ. අර්ශස් ආදී රෝගයන් හි භාවිත වේ. වඳ බව නසන ඖෂධ ප්‍රයෝග වල යෙදේ.

වාගේරි සෘතය

ඇඹුල් ඇඹිලිය යුෂ තැලි 04
දී කිරි යුෂ නැලි 04
ගිතෙල් යුෂ නැලි01

කල්කය

පොතුහල ඛෙලි මුල්, රත්නෙටුල් මුල්, සිද්ධිඟුරු, ගජ තිප්පිලි, ගජතිප්පිලි මුල්, සතකුප්ප මේ සියල්ල සැලක දමා තුන් දිනක් මඳ ගින්නේ පදමට සෘතපාක ක්‍රමයට සිඳ පිසගන්න.

අර්ශස්, අතීසාර, උදාර්වත රෝගයනට ගුණ වේ.

(වෛද්‍යවින්තාමණිය)

වාරී සෘතය

ඇඹුල් ඇඹිලිය ස්වරස – සේරු 04 යි
ගිතෙල් – සේරු 01 යි
වියලි මසංගෙඩි ක්වාථ – සේරු 04 යි
ඉඟුරු යුෂ හා යක්ෂාර එක්ව – සේරු 1/4
සෘත පාක ක්‍රමය අනුව සකස් කර ගත යුතුය.

මෙය ගුද භාංශශයෙහි භාවිත ශ්‍රේෂ්ඨ ඖෂධයකි. පිලිපයින් දුපත් වාසීහු මෙම පැලෑටියේ කොළ, කෂාය සඳහා යොදා ගන්නේ උණ සහ අතිසාර රෝග අවස්ථාවන්හි දීය.

වාංගේරී වූ ක්‍රිකා දන්ත-ගඨාම්බ ෂ්ඨාවල ලොණිකා අම්ල පත්‍රශ් (ව) හෙතුග් (ව)
සුනි පණ්ණක පත්‍රකඃ

(ලේප වර්ගය 33 සරස්වතී නිගණ්ඩුව)

අම්ලි කාමල ගුරු වාත හරිපිත්ත කථා සුතෘත් පක්වාතු දීපනී රුක්ෂා සරොෂ්ණා කළුවා තනුත්

වාංගේරි පත්‍ර සං සිධඃ කළු වාතාම ශුලනුත්, සංග්‍රාහි දීපනො හෘද්දො රුව්‍යො වාතානු ලොමනඃ

(ද්‍රව්‍ය ගුණ දර්පණය 431)

අෂ්ටාංග හෘදය සරස්වතී නිගණ්ඩුව ද්‍රව්‍ය ගුණ දර්පණය ආයුර්වේද ඖෂධ සංග්‍රහය දෙවන කොටස ද්‍රව්‍ය ගුණ විඥාණය පූර්ව ඛණ්ඩය – පණ්ඩිත විලියම් අල්විස්
වෛද්‍ය ශතකය.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si=ZlDNFDhxF4ZlRoT0

Scroll to Top