එන්සාල්

BOTANICAL NAME – Elettaria cardamomum (L.) Maton

FAMILY – ZINGIBERACEAE

පොදු සිංහල නම – මහ එන්සාල්, හිං එන්සාල්

හී එන්සාල් :-

සංස්කෘත – ඒලා, සූක්ෂමෛලා ද්‍රවිඩී. ප්‍රැටී, පෘඒවිකා, ක්ෂුද්‍රලා

ඉංග්‍රීසි – Cardamon

දෙමළ – ඒලක්කායි, පෙලක්කායි

හිංදි – ජෝට්, ඉලාවී

බෙංගාලි – ජෝට්, ඵලාව

මහ එන්සාල් :-

හිංදි – බඩා ඉලාවී

බෙංගාලි- බොඩොඵලාඩ්

දෙමළ – පෙරිය එලක්කායි

සංස්කෘත – වෘහදෛලා, ස්ථුලා, පෘථවිකා

කුලය – හරිද්‍ර

ඓතිහාසික විවරණය

වරකාචාරීන් ශීර්ෂ විරේචන වර්ගය යටතේද සුශ්‍රැතවාරිහු අජගන්ධාදි වර්ගය යටතේ ද, දක්වා ඇති හෙයින් මෙම ද්‍රව්‍යය ඖෂධයක් වශයෙන් සෘෂි යුගයේ සිට භාවිත වූ බව සිතිය හැක.

ප්‍රභේද

  1. හිං එන්සාල් (කදමුංගු) යටතේ ප්‍රභේද දෙකකි. එනම් :
  2. මලබාර්
  3. මයිසෝර්
  4. මහ එන්සාල්
  5. සෝරංග (මෝරංග)

ඖෂධ පිණිස හිං එන්සාල්, මහ එන්සාල් ගැනේ.

ආහාරපාන රසවත් කිරීමටත්, බුලත් විට රසවත් කර ගැනීමටත් උපයෝගී කර ගන්නා කුළු බඩුවකි.

එමෙන්ම වර්තමාන අන්තර්ජාතික කටයුතු වලදී ” සුළු අපනයන බෝගයක්” වශයෙන් විදේශ විනිමය උපයා ගැනීමට ද එන්සාල් උපයෝගී වෙයි.

” ඒලා මුත්‍ර විබද්ධනි,
තෘට් ජර්දි කළු වාත පිත් “

(ද්‍රව්‍ය ගුණ දර්පණය)

මුත්‍ර බද්ධයත්, පිපාසයත්, වමන හා සෙම වා දෙකත් ජයගනී.

වරකයේ ශිරෝ විරේචන වර්ගයේ හා කටුක ස්කන්ධයට ඇතුලත් කර ඇති අතර සුශ්‍රැතාවරින් ඒලාදි ගණය. පිප්පල්‍යාදිගණය, හා අජගන්ධාදී වර්ගයේ ද අෂ්ටාංග හෘදයේ පරිදන වර්ගයේ විෂ අන්තර්දහක වර්ගයේද දක්වා ඇත.

ගල්වැටි ආශ්‍රිත දිය සීරාවෙන් යුත් තෙතමනය සහිත තුරුලතා සෙවණින් සමන්විත භූමියෙහි පඳුරු වශයෙන් වැවෙන එන්සල් පැළෑටියෙහි ඵල සහිතකරල් හටගන්නේ භූමියට නැඹුරු වෙමිනි. හටගත් තැන් සිට එම කරල් පැසුමට මාස කීපයක් ගත වෙයි. පැසුණු කරල් කඩා ඵල වෙන්න්කොට මද අව්වේ වියලා ගැනෙයි.

මෙහි බෙහෙතට යොදාගන්නේ මනාව වියලා ගත් එන්සාල් ඇට පමණි.

” ඒලාදි නම් වූ එන්සාල් තුවරලා ඉරිවේරිය රැහැණිය…………….. … මේ ගණය පිළිකා කණ්ඩුකා ශ්ලේෂ්ම රෝග ස්ථාවර ජංගම විෂයට හිතයි. ” යනුවෙන් යෝගාර්ණවෙහි දක්වා ඇත්තේ එය රචිත බුද්ධ පුත්‍ර හිමියන් විසිනි.

හිං එන්සාල්

රසය -මධුර

ගුණය – රූක්ෂ, ලඝු

වීර්ය – ශීත

විපාක – මධුර

දෝෂානුගතව ත්‍රිදෝෂ අනුලෝම කෙරෙයි. ලඝු, රූක්ෂ, ගුණ හා කටුක -මධුර රස රස නිසා නිසා කවි සමනයත්, මධුර විපාක හේතුවෙන් වාත අනුලෝමයත්, ශීත වීර්යෙන් පිත් සමනයත් සිදු කෙරෙයි.

මෙහි හිං එන්සාල් රක්ත සංවහන ක්‍රියාවලියේ දී හෘද්ය වෙයි. කඵ නිඃසාරක වන්නේ ශ්වසන ව්‍යුහයේදීයි. අන්න පවන ව්‍යුහයේදී හෙවත් ආහාර පැසවීමේ ක්‍රියාවලියේදී සොම්නස්‍ය ජනන හා අවසාදක වන අතර මුව පිරිසිදු කරවයි. දුගඳ නසා වමනයත්, පිපාසයත් වළක්වයි. මුත්‍ර ව්‍යුහයේදී මුත්‍ර ජනන මෙම
ඖෂධය තාපානුගතව දාහ ප්‍රශමනයට ඉවහල් වෙයි. සාත්මි කරණයෙන් බල්‍ය වුවද ප්‍රභාව වශයෙන් පෙණහළු රෝග වලින් පෙලෙන්නන් විෂයෙහි අහිතකර බලපෑම් උද්ගත කරවීමට ඉඩ තිබේ.

මහ එන්සාල්

රසය – කටුක, තිත්ත

ගුණය – ලඝු, රුක්ෂ

වීර්යය – උෂ්ණ

විපාක – කටුක

දෝෂානුරූපිතව ත්‍රිදෝෂ ගමක වෙයි. බාහ්‍යකර්ම වශයෙන් දුගඳ නසයි. ඉදි අගින් අනින සුළු (ශුල) වේදනා පහ කරයි. චර්ම රෝග සමනයට ඉවහල් වෙයි. වුණ රෝපණය සලසයි. අභ්‍යන්තරව, රක්ත සංවහන ව්‍යුහයේදී හෘද් උත්තේජක වෙයි. රේචන- දීපන හා පාවන ගුණයෙන් අන්න පවන ව්‍යුහයේදී ක්‍රියාත්මක වන මහ එන්සාල් වාතය අනුලෝම කොට පිත් සමනයෙන් මනාඃ ප්‍රසාදයට ආධාර වෙයි. තාප ක්‍රමයෙන් ජීවරස්න හා දහප්‍රශමන මෙය. මුත්‍ර ව්‍යුහයේද මූත්‍ර කාරක වෙයි.

පොදුවේ එන්සල් වල අඩංගු රසායනික උපාදානයක් විද්‍යාත්මක පරීක්ෂණයන්ගෙන් සොයා ගෙන තිබේ. ඒ අනුව මෙහි අන්තර්ගත පදාර්ථයක් වශයෙන් ස්ථායි 10%ක්ද, අස්ථායි තෛල හා ක්‍රියාකාරී පදාර්ථ 5%ක්ද, පොටෑසියම් ලවණ 3%ක්ද, පෙන්වා දී ඇත.

හීං එන්සාල් කුඩුකර තබාගෙන එයින් වරකට මේස හැන්දක ප්‍රමාණයක් අළු කෙසෙල් අල කොටා මිරිකා ගත් ඉස්මෙන් හෝ ගව මුත්‍රයෙන් හෝ දිය කර බීම මුත්‍ර රෝග සමනයට ප්‍රත්‍යක්ෂ මහකි.

එසේම නිවුඩු සහිත හාල් සේදු දියරට එන්සාල් කුඩුකර උක් හකුරෙන් අනා ලේහ කිරීමෙන් මරුමුවට ආසන්න අසාධ්‍ය මුත්‍ර කෘච්ඡු ආබාධිතයා වුවද ක්‍රමයෙන් සුවය ලබන බව කියැවෙයි.

වියළි එන්සල් ඇට, මානෙල් කොළ හා සිනි මනාව අඹරා ගත් මිශ්‍රණය නිවුඩුහාල් සේද වතුරට දියකර බීමෙන් පිත් කුපිතයෙන් හටගත් ඉවසිය හැකි දැවිල්ලෙන් යුත් මුත්‍ර කෘච්ඡුය වහා සංසිඳී යයි.

විරේකයකදී හටගන් ඉවසිය නොහැකි බඩේ රිදුමටත් බඩ පිපීමටත් හී එන්සාල් කුඩු උණු වතුරෙන් බිම ඉතාමත් ගුණදායක ය.

අර්ශයට ප්‍රත්‍යක්ෂ සුරන මෝදකයටත්, මුත්‍රා බාධකයන්ටත් හිතකර චන්ද්‍ර ප්‍රභා ගුටිකාවටත් කුෂ්ඨ, භගන්දර ගුල්මාදියට නිර්දේශිත ත්‍රිඵලා මොදකයටත්. ග්‍රහණි මල බද්ධාදියට යොදන කාංචනාකාර ගුග්ගුලුවටත්, වැහැරීමට හා ධාතු ක්ෂිණතාවයට උපයෝගී කර ගන්නා ව්‍යවන ප්‍රශාවලේහයටත්, රත්පිත් ආබාධ යන්ට සෙත සලසන කුෂ්මාණ්ඩාවලේහයටත්, වාත රක්ත, විසර්ප, විෂ වලදී යොදා ගන්නා. ත්‍රිඵලාදි සෘතයටත්, අනිකුත් ඖෂධ ද්‍රව්‍යයන් සමඟ එන්සාල් ද එක්කර ගනු ලැබෙයි.

එමෙන්ම නාරායණ තෛලය, බලා තෛලය, ශතාවරී තෛලය, චන්දනාදි තෛලය ආදියේ කල්කය සඳහාද එන්සාල් ගනී.

දසමුලාරිෂ්ටය, බදිරාරිෂ්ටය, ප්‍රාක්ෂාරිෂ්ටය ආදී අරිෂ්ට වර්ගයන්ටත්, පිප්පල්‍යාසවයටත් ඖෂධ සංයෝගයක් වශයෙන් එන්සාල් වලින් බලවත් අනු බලයක් සැලසෙයි.

ශ්වාසරෝග සමනයට හිතකර තාලිසාදි වර්ණයට තලිස් පතුරු වලින් හරි අඩකට එන්සාල් ගනී. ගුල්මාදියට යොදන හාස්කර ලවණ වර්ණයත්, කාසශ්වාස රත්පිත් සමනයට උපයෝගී කර ගන්නා සීතොපලාදී චුර්ණයත්, හෘදරෝග. ගල රෝග ක්ෂය, පිනසාදියට යොදා ගන්නා ලවඩිගාදි චූර්ණයත්, විසාදිය නසාලන ත්‍රිගන්ධ වුර්ණයත්, එපරිද්දෙන්ම එන්සාල් ක්‍රෂිකව සංයෝග කර ගැනීමෙන් සකස් වන ඖෂධයන්ය.

තුන්දොස් වමනයට ප්‍රත්‍යක්ෂ සීනි, මී පැණියෙන් අනාකන ඵලාදි චූර්ණයටද

කලාදුරු අල
තිප්පිලි
වී පොරි
නාමල් රේණු
කරාබු නැට්
මසන් ඇට
ආදිය සමඟ මුලින්ම යොදා ගැනෙන්නේ එන්සල් ය.

මෙසේ පාරම්පරික වෙදකම සඳහා උයපෝගී කර ගන්නා ඖෂධ පැළෑටි අතරෙන් රෝග බොහොමයකට ප්‍රතිකාර සඳහා මෙන්ම බොහොමයක් රෝග නිවාරණයට ද එන්සාල් ඖෂධ පැළෑටිය බලපාන ආකාරය, ප්‍රශස්ත වෛද්‍යවරුන්ට පමණක් නොව අත් බෙහෙත් පිළිබඳව අවබෝධයක් ඇති සාමාන්‍ය ජනතාවටද රහසක් නොවෙයි.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top