අන්දර

BOTANICAL NAME – Acacia leucophloea (Roxb.) Wild.
FAMILY – LEGUMINOSAE

පොදු සිංහල නම – අන්දර
සංස්කෘත – වීරතරු
හින්දි – වරවේලා, මූර්තුලා
බෙංගාලි – වීරතරු
ඉංග්‍රීසි – White Babool
ද්‍රවිඩ – විදත්තල්, වෙල්ලන්තිකාරිනි, තිර්ථකමුලන්, වෙකුතාවරන්, තිරුලබුලත්, වීරකරිති, රොමම්, මල්ලාකන මනියන්, කෝවිරත මනියන්, තනිත්ත තමනියන්, මූර්පන් නයන්තියන්, සාරලිත්තියන්, තේසාත්තන්, සුතපාප්පියන්, අනන්තේර්ව්වොඩ්, සතානිකමරම්, සිට්රිලත්තලෙ, පොඩිතිත්තලෙමරම්, මාවිලත්තන්, විඩකාරි, විඩත්තන්, විඩක්තේලෙ, විරතරුමරම්.

පර්යාය නාම – වීරතරු, වීරතර, වෙල්ලන්තර, වීරවෘක්ෂ

අන්දර යනු වේල්ලන්කර යන්නෙහි පූර්ව ශබ්දයෙන් වෙන් වූ අන්තර යන්න අන්දර වීමකැයි සිතිය හැකිය.

මෙම ගස ලක්දිව උතුරු, බටහිර, මුහුදුබඩ නිර්ජල ප්‍රදේශ වලද, උතුරු කර්ණාටය, දකුණු දඹදිව, මධ්‍ය ප්‍රදේශ වලද, වයඹදිග භාරතය, රාජ්ජුක්නා, ඩැනාන්, මලයාදීප, උතුරු ඕස්ට්‍රේලියාව ආදී ප්‍රදේශ වල වැවේ.

අන්දර වනාහී බොහෝ ශාඛා ඇති කටු සහිත කුඩා වෘක්ෂයකි. ක්ෂූප වර්ගයට අයත් මෙහි සුඹුල සුදුය. බොහෝ කැබලි සහිතව සෑදී ඇත. කුඩා අතු නැමුණු කටු මෙන් වැඩී මෝරනු ඇත. කොළ පියාපත් වැනිය. සෙන්ටි මීටර් 3.2 පටන් සෙන් ටිමීටර් 6.3 දක්වා දිග ඇත්තේය. කොළ වල මැද නාරටිය සාමාන්‍යයෙන් මොලොක් රෝම ඇත්තේය. කොළ යුගල වල කුඩා ඍජු වූ කොරපොතු වැනි වැඩීම ඇත්තේය. මේ එකක් මිලි මීටර් 4.5 ක් පමණ දිගය. ත්‍රිකෝණාකාරය. පත්ලේ පටන් නැගෙන පාවරගන් (කටු) ඇණ මෙන් දිගය. පිහාටු 8 පටන් 14 දක්වා යුගල වශයෙන් ඇත. සෙන්ටි මීටර් 1 පටන් 1.6 දක්වා දිග ඇත්තේය. නැටි රහිතය. නැතහොත් නැටි රහිත ලෙස පෙනේ. කුඩා කොළ ඉතා කුඩාව නැටි රහිතව යුගල 12 පටන් 20 දක්වා යුතුව ඍජුව වැඩේ. මල් බොහෝය. එකිනෙකට සම්බන්ධව වැඩී ඇත. සෙන්ටි මීටර් 2.5 පටන් 3.8 දක්වා දිගය. වෙන් වෙන්ව නටුවල දක්නා ලැබේ. මෙම කරල් වල උඩ පැත්ත කහ පාටය. යටි පස සුදු පාටය. මනිපත්‍ර වටය සෙන්ටිමීටර් 0.8 ක් දිගය. පිච්ඡලය. මෙහි පෙති වටය. මිලි මීටර් 2 පටන් 2.5 දක්වා දිග ඇත්තේය. මලේ පාට පහක් ඇති බව හාමිනි කියයි. සැබෑ මල්වල රේණු මුදුනෙහි ඇති කොටසේ කහ පාට සෑදී ඇත. කරල් වල යට කොටසෙහි බොරු මල් රේණු සෙන්ටි මීටර් 1.3 දක්වා දිගට වැඩී ඇත්තේය. එය සුදු පාටය. විදාරණය වන කරල් සෙන්ටි මීටර් 5, 7 දිග ඇත්තේය. සෙන්ටි මීටර් 0.6 පටන් 1 දක්වා විශාලය. රෝම සහිතය. සිලිටුය. කළු පාට මිශ්‍ර දුඹුරු වර්ණය. පැසෙන කල්හි කරල් උඩ බලා සිටී. එකක බීජ 6 පටන් 10 දක්වා සංඛ්‍යාවකි.

රස – තික්ත හා කෂාය
ගුණ – උෂ්ණ
වීර්යය – උෂ්ණ
විපාක – කටුක

දෝෂණුරූපව කර්මයන්ට අනුව කඵ, වාථ, ශාමකය. ග්‍රාහක, ආමවාතහර, අශ්මරීනාශක, මුත්‍රවිකාර ප්‍රශමන යන කර්ම ස්පන්නය. සිද්ධ වෛද්‍ය ග්‍රන්ථ වල මෙය ජීඊර්ණකාරක, මුත්‍රා කාරක, ගර්භ ශක්තිකර, ජනන ඉන්ද්‍රිය ශක්තිකර, අශ්මරී බේදක, අභ්‍යන්තර රූජාහර, රුධිර වර්ධනීය මූල රෝග විනාෂන ද්‍රව්‍යයක් ලෙස විස්තර කර ඇත. අන්දර මැලියම් ශ්වෙත ප්‍රදර, ශුක්‍ර ප්‍රමේහ, ප්‍රමේහ උෂ්නයෙන් ඇතිවන විසර්ප ද සුව වේයයි එහිම ඇත. ආයුර්වේද ග්‍රන්ථ වල (ගෘහස්ථය, භාව ප්‍රකාශය) විශේෂයෙන් මුත්‍ර ව්‍යුහයෙහි අශ්මරි, ශර්කරා, මුත්‍රඝාත, මුත්‍ර කෘව්ජ්‍ර හා වෙනත් මුත්‍ර රෝග නසන බව සදහන් වේ. ප්‍රජානන ව්‍යුහයෙහි හා නාඩි ව්‍යුහයෙහි ක්‍රියාකරම්න් වාත නාඩින්ගේ උත්තේජනය ශමනය කරමින් වාත රෝග සඳහා ද ගුණ දෙන බැව් දක්වා ඇත. මධුමේහය සඳහා අන්දර කොළ වියලා විලකුව නමින් බෙහෙතක් සිද්ධ වෛද්‍ය ග්‍රන්ථ වල දැක්වේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ අන්දර කොළ, සූදුරු, මීකිරි පමණය. ඒ සමගම ප්‍රමේහය ට අන්දර කොළ ගෙන සෑදූ තලපයක් ද දක්වා සේඇත. අන්දර දළු මැඩ ඇසට වත් කිරීමෙන් ඇස් රෝග සුව වන බව සිද්ධ වෛද්‍ය ග්‍රන්ථ ය. අර්ශස්, රක්තාතීසාර, රක්ත ග්‍රහණී, රක්තාර්ශස්, සඳහා අන්දර ගසේ ඇතුල සුඹුල කොටා වරකට කලන් 1/2 සිට 1 1/2 දක්වා ප්‍රමාණයක් ගැනීමෙන් සුව වන බවද දක්වා ඇත.

අන්දර තෛලය සියලු කරප්පන් වලට ගුණ දේ. දේශීය වෛද්‍යවරු කැඩුම් බිඳුම් වෙදකමේ දී අන්දර විවිධාකාරයෙන් පත්තු, මැල්ලුම් ආදී වශයෙන් භාවිතා කරනු ලැබේ.

අන්දර ගස භාරත ලෝකයා අතර වීරතරු නමින් ප්‍රසිද්ධ ය. සුදු, කළු, අරුණු රතු, නිල් පාට මල් ඇත්තකි. මල සමන් පිච්ව මලට සමානය. කොළ සෑම ගසේ කොළ හා සමානය. ගසේ කටු ඇත. මේ ගස වැවෙනුයේ නිර්ජල ප්‍රදේශ වලයි. මෙය රසපාකදෙකෙහි තික්තය. පවස හා සෙම නැති කරයි. මුත්‍රාඝාත අශ්මරී නාෂකයි. ග්‍රාහි යි. යෝනි රෝග, මුත්‍ර රෝග, වාත පීඩා යන මේවා ජයගනී.

වෙල්ලන්තරෝ ජගති වීරතරු: ප්‍රසිද්ධ:
ශ්වේතාසිතා රුණ විලෝහිත නීලපුෂ්ප:
ස්‍යාජ්ජාතිතුල්‍යකුසුම: ශම්සූක්ෂ්මපත්‍ර:
ස්‍යාත් කණ්ටකී විජලෙදෙශජ ඒෂ වෘක්ෂ:
වේල්ලන්තරෝ රසෙ පාකේ තික්තස්තෘෂ්ණා කඵාපහ:
මුත්‍රාඝාතා ශ්මජිද්ග්‍රාහි යෝනීමුත්‍රාගිලාතිර්ජිත්.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔ

Scroll to Top