BOTANICAL NAME – Ananas comouse Merr. Syn A. sativus Scult. f.
FAMILY – BROMELIACEAE
පොදු සිංහල නම – අන්නාසි
ඉංග්‍රීසි නාමය – Pine apple
හින්දි නාමය – අනානාස, කථහලා, සඵාරි
බෙංගාලි නාමය – ආනාරස
දෙමළ නාමය – පරංගිතාලායි, අන්නක්කා, අන්නතාලෙයි, අනාශපණ්ඩම්
සංස්කෘත නම – බහුනේත්ර (ගෙඩියේ පොත්තේ ඇස් වැනි කොටස් _ ඇහි නිසා)
ජන්ම භූමිය හා භේද
අන්නාසි ගස බ්‍රසීලය ආදිවාසී කොට ඇතැයි කියති. ප්‍රයෝජනය අතින් ආහාරයට බර වූ, ඉඳහිට බෙහෙතට ගැනෙන අන්නාසි, එක ගසින් එක ගෙඩිය වශයෙන් ලැබෙන්නකි. ඉන්දියාවේ මෙන් ලංකාවේ ද අන්නාසි වතු ඇත. තැඹිලි මෙන් අන්නාසි ද විවිධාකාරය.
පැසුණු ඉදුණු ගෙඩි පළතුරක් වශයෙන් ද, නොපැසුණු ගෙඩි, එම ගෙඩි යුෂ, කොළ යුෂ හා මුලේ චූර්ණය බෙහෙත් වශයෙන් ද ප්‍රයෝජනයට ගැනේ.
රසය – මධුර
ගුණ – ගුරු, ස්නිග්ධ
විපාක – මධුර
වීර්යය – ශීත
දෝෂාණුරූප කර්ම වශයෙන් මධුර ගුණ ශීත වීර්යය නිසා වාතශාමකය. හෘද්‍ය හා රත්පිත් ශාමක නිසා හෘද රෝගීන්ට අන්නාසි දෝසි ගුණදායක ය. ආහාර රුචිය ඇති කරවයි. ආහාර රුචිය ඇති කරවන අග්නිදීපනය හා අනුලෝමන ගුණ එනම් මල මදක් බුරුල් කොට පිට කිරීම සිදුකොට ලන කර්ම ඇත. අරුචි උදර ශුල, කාමලා, මල විඛන්ධ යන රෝග අවස්ථාවන්හිදී ඉදුණු ගෙඩි කෑමෙන් හෝ එම යුෂ මාත්‍රා යුක්ත ව ගැනීමෙන් හොඳ ප්‍රතිපල ලබාගත හැකිය. අතිමාත්‍ර සේවනයෙන් සමහරුන්ට අසාත්ම්‍ය ලක්ෂණ එනම් ඇඟ පළු නැගීම, කැසීම, උගුරේ ප්රදාහවත් ගතිය, දිව හා මුඛය ඇතුලත ඉරි තැලීම, ඇස් රතු වී කඳුළු නික්මීම වැනි ලක්ෂණ ඇති වේ. ගර්භණී විෂයෙහි ද මෙසේමය.
ගර්භනීන් ට අන්නාසි (අමු පැසුණු ඉදුණු) එතරම් හිතකර පළතුරක් නොවන බැව් බොහෝ අයගේ විශ්වාසයයි. ගැට අන්නාසි ගර්භපාතක ය. කෂ්ටරජස් (ඔසප් ශූල) රජෝ රෝග අවස්ථාවන්හි අමු හෝ ඉදුණූ ගෙඩි යුෂ දෙනු ලැබේ. අන්නාසි වර්ග අතුරින් විශේෂයෙන් ගර්භපාතය සිදු කරන්නේ වල් අන්නාසි, ගල් අන්නාසි නමින් හැඳින්වෙන, පළතුරක් ලෙස ආහාරයට නොගන්නා, ගල් අතර ඉබේ වැවෙන, වැටේ මායිමට සිටුවන වර්ගයයි. (මේ වර්ගය දකුණු පළාතේ නැත) සාමාන්‍යයෙන් ගැට අන්නාසි ගර්භපාතකය. මුරිසි අන්නාසි වලට වඩා කටු අන්නාසි වල මෙම දුර්ගුණය ඇතත්, අධික මාත්‍රාවෙන් ගතහොත් පමණක් සිදුවන බව කිව හැකිය. මේ හෙයින් දුර්වල ගර්භ ඇති අය හොඳින් ඉදුණු අන්නාසි අල්ප මාත්‍රා වෙන් කෑම හෝ කෑමෙන් සම්පූර්ණයෙන් වැළකී හෝ හිතකරය. මුත්‍ර ව්‍යුහාවේ දී අමු අන්නාසි කෑමෙන් මුත්‍රා වල අම්ලතාව වැඩි වී මුත්‍ර දාහය ඇති කරයි. එනමුත් හොඳින් ඉදුණු අන්නාසි අශ්මරි, මුත්‍ර කෘච්ජු මෙන්ම, වෘක්ක හා වස්ති ගත ශර්කරා බැහැර කරයි. වාත පිත්ත රෝගයන්හි යෙදිය හැකිය හැකි අන්නාසි උණ නසයි. පිපාසා නසයි. දාහය හා වෙහෙස නැති කරයි. දුර්වලයන් ට බලය ඇති කරන පළතුරකි.
_ ත්‍රිකුළු සුදුළූණු චූර්ණය සමඟ මුර්සි අන්නාසි කෑමෙන් කැලෑ උණ සුව වුණු බවට කටකතා අස්ඇත.
අන්නාසි ගොබය තලා ලබාගන්නා යුෂ දැවුම් පිළිස්සුම් වලදී ඇතිවන දාහය නැති කරයි. කොළයේ ගසට සමීප කොටස (සුදු ගොබය) පලා ලබාගන්නා ස්වරස කෘමි රෝගයෙහි දී පානය කරයි.
අන්නාසි ගැන නිඝණ්ටරත්නාකරය, භාවමිත්ර නිඝන්ටු පරිශිෂ්ටය, මභෞෂධ නිඝණ්ටු යන ග්රන්ථ වල විශේෂ විස්තර දැක්වේ.
අනන්සාසස් ක්වනන්තාක්ෂෝ – බහමන්ත්රඵලෝ ‘ මිලික:’
පුත්රශීර්ෂ: පාරවතී – කෞතුකෝ ‘ න්ධාක්ෂ ඉත්‍යපි,
යතෝ ‘ සිරන්නරම්භානන් – තතෝ ‘ න්න සිශ්ව කත්යතේ,
අනන්න, සඵලන් බාලන් – ප්‍රායශෝ ගර්භපාතනම්:
අපක්වන් පිත්තකඵදන් – රුව්යන් ක්ලමහරන් ගුරූ,
යදම්ලරස භූයිෂ්ඨන් – තත් ප්‍රාය: ශීත පිත්තකෘත්:
පක්වන් පීත්තප්රදන් සාම්ලං – ස්වාද්වාමාතපදෝෂනුත්,
හෘද්යන් සංදීපානන් – රුව්යන් – කෘමිෂ්නං බාලතර්පනම්:
මභෞෂධ නිඝණ්ටු
චෞකම්බා, බාරාණසි
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි



