BOTANICAL NAME – Aquillaria malaccensis Lam.
FAMILY – THYMELAEACEAE
ENGLISH NAME – Aloe wood, Agar wood, Eagle wood
පොදු සිංහල නාමය – අගිල්, කළු අගිල්, කළු වැල්
හිංදි නාමය – අගර්
බෙංගාල නාමය – අලරු, අගුරු
දෙමළ නාමය – අගලාචන්ද, අගර්, අගිලි චන්දනම්
සංස්කෘත නාමය – අගුරු
පර්යාය නාමය
ප්‍රවර ලෝහ – උතුම් යකඩ යනු අර්ථය යි. යකඩ මෙත් තද අරටුවක් අැති හෙයිනි.
කෘමිජ – පණුවන් නැති කරන.
අනායක –
ප්‍රභේද
ප්‍රභේද 04 කි
කෘෂ්ණාගරු
පීතක, ලෝහ, අසාර, කාෂඨක යන සංස්කෘත පර්යාය නාම මෙයට යෙදේ.
කාෂ්ඨාගරු
පීතක, ලෝහ, අසාර, කෘෂ්ඨක යන සංස්කෘත පර්යාය නාම මෙයට යෙදේ.
ද්රහාගරු
අහනාගරු, දාහක කාෂ්ඨ, ධූපාගරු යන සංස්කෘත පර්යාය යෙදේ.
මංගල්යාගුරු
මෙම ප්‍රභේදය අන් ප්‍රභේද වලට වඩා ශ්‍රෙෂ්ඨය.
සරල පත්‍ර සහිත සදාහරිත ශාකයකි.
සැළලිහිණි සංදේශයේ එක් තැනක ”කලුවැල්” නමින් හැඳින්වෙන වර්ගය අගිල් හැටියට අර්ථකථනය කොට ඇත.
භාරතවාසීහු අෑත අතීතයේ සිටම දුම් ඇල්ලීමට හා ශීත ප්‍රශමනය උදෙසා ආලේප කිරීමට ද අගිල් යොදාගත් බව වාර්තාගතය.
රස – තික්ත
වීර්‍ය්‍ය – උෂ්ණ
අර්කාගුරු ගුඩුචීනාං-තික්තා නාමුෂ්ණ මුඩ්යතේ _ ච. සූ. 26 අ
රස්නාගුරුණී ශීතාපනයන ප්රලේපනානාම් _ ච. සූ. 25 අ
මෙහි ඇති තෙළ දුෂ්ඨ ව්රණ ශෝධන ද කෘමිකඵ කුෂ්ඨානිලහර ද වෙයි. තික්ත කටුක කෂාය රස ද ඇතිතේ ය.
යමෙකුගේ වණයකින් අගිල් සුවඳ වහනය වේ නම් ඒ මරණාසන්න ලක්ෂණ යෙකැයි සුශ්‍රැතය කියයි. මෙහි රසායන කර්මය ඇති බව වාග්භටය කියා ඇත. මෙය සුවඳ දුම් කුඩු පිළියෙල කිරීමෙහිදී ද සඳුන්කූරු මෙන් දුම්කූරු (අගරඛත්ති) තැනීමෙහි ද උපයෝගී වෙයි. ඇසෑමයේ ද මෙහි පොත්ත කඩදාසි නිපැදවීමට යොදා ගනිති.
අකූරුකාෂ්ඨයේ ස්නේහයෙන් පිළියෙල කැර ගනු ලබන ඉත්ර (සැන්ට්) නැමැති සුවඳ විළවුන් වර්ගය බින්දු 1-2 මාත්‍රාවෙන් පෙවීම තමකශ්වාසයට ද පපුවේ ගෑම පපුවේ සෙමට ද, පරණ ඉත්ර බුලත් කොළයේ ගා සපා ගිලීම ධවජ භංගයට ද ගුණදායක යැයි කියති.
වැවෙන ප්‍රදේශ
ලංකාවේ වියළි කලාපයෙහි වැවෙන බවට මතයක් පැවතියත් නියම අගිල් ලංකාවේ නැත. මෙය ඉන්දියාවේ නැගෙනහිර හිමාලය ප්‍රදේශය හා ඇසෑම් ප්‍රදේශ ආශ්‍රීතව වැවේ.
ව්යවහාර්ය අංග
අරටුව ප්‍රධානය. සම්පූර්ණ වෘක්ෂයම ද යෙදේ.
සංග්‍රහ-සංරක්ෂණය
හොඳින් අරටුව මේරූ ගස් කපා, පලා වියලා, රුද්ධ භාජනයන්හි ආවෘතව රැස් කළ යුතුය.
රසායනික පදාර්ථ
අරටුවෙහි මිහිරි සුවඳැති වාෂ්පශීලී තෙෙල පදාර්ථයක් අඩංගුය.
අගරු පරීක්ෂාව
දියෙහි ලූ කල ගිලෙනුයේ උතුම්ය.
අඩක් ගිලෙනුයේ මධ්‍යමය.
නොගිලෙනුයේ අධමය.
මිහිරි සුවඳවත්, ගින්නෙහි ලූ කල සුගන්ධය පැතිරී යන සුලු අගිල් උතුම්ය.
යෝග
චූර්ණ, ප්‍රලේප, ක්වාථ, තෙෙල, ධූම හා අරිෂ්ට ආසව අදියෙහි මිශ්රීත උපා දානයකි.
මාත්‍රාව
චූර්ණය රක්තිකා 6-12
ක්වාථය කර්ෂ 5-10
තෙෙලය බිංදු 1-05
සංස්කරණ හා යෙදීම්
ශෝථයෙහි දී අගුරු ධූමය.
වේදනා සමගනට අගරු චූර්ණය
හික්කා රෝගයෙහි දී අගරැ-පාඨා ක්වාථය.
මේ හැර ලවණ මේහය, දද, කුෂ්ඨ සහ කිටිහ රෝගයන්හි ද යෙදේ.
මෙහි ඇති කසට ගතිය නිසා ජර්දි සහ පාචන අවස්ථා වල ද යෙදේ. අගිල් තනිකර කලං 12 කෂාය අතිස්ථෞල්යය සඳහා යෙදේ.
සමාජ රෝග, ප්‍රදර හා උෂ්ණාධික හේතුවෙන් සිදුවන යෝනි ප්රදාහයන්හි දී ශෝධන ඖෂධයක් ලෙස පහත අගරු පත්‍ර යෝගය ධෝවනය සඳහා යෙදේ
අගිල් කොළ
බේත් අනෝදා කොළ සම භාගව ද
නිදිකුම්බා මුල්
අමුකහ අර්ධ භාගයක් ද
ගෙන තම්බා පෙරාගත් ජලය සේදීමට භාවිත කළ යුතුය.
අගරු මූල ධූමය
වදකහ, කලුදුරු, නයිහැව සමභාග ව ගෙන වියළි අගිල් මුල් සියල්ල බරට ද ගෙන සුණු කොට තබා ගෙන ගිනි අඟුරු මත හෙළා ඉන් නැගෙන ධූමය නාසයට හා සිරුරට ඇල්ලීමෙන් මුර්ජාව සුවවේ. මෙයම ආක්ෂේප අපස්මාරයන්හිදී ද මේ ධූමය යෙදිය හැකි ය.
තූරරී කඵ පිත්තස්නී කෂායා නාතිවාතලා
අගරු ව්රණජිත් තික්තං කටුෂ්ණං කඵවාතජිත්
අගරූෂ්ණං කටු ත්වච්ය තික්තං තීක්ෂණංච පිත්තලම්
ලඝු කර්ණාක්ෂි රොගස්නං ශීතවාත කඵ ප්රණුත්
කෘෂ්ණං ගුණාධිකං තත්තූ ලොභවත් වාරි මජ්ජතී
අගරු ප්‍රභවඃ කෘෂ්ණ ගුරු සමඃ ස්මෘතඃ
වෛද්‍ය. ජේ. ඒ. ඩී. කරුණාදාස.
ජේෂ්ඨ කථිකාචාර්ය
දේශීය වෛද්‍ය විද්‍යායතනය
රාජගිරිය.
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි



