BOTANICAL NAME – Bridelia retusa (L.) Spreng.
FAMILY – EUPHORBIACEAE
පොදු සිංහල නම – කැට කෑල
ඉංග්‍රීසි නාමය – Bengal Kino Tree
දෙමළ නාය – පර්සම්, මුරුක්කම්මරම්, අඩමරුදු, අසුවායි, කඩුගායි, කොමා නජ්, මලෙයි වෙන්ගායි. මුල්ලුමාරු ද, මුල්ලු වෙන්ගායි. මුල්වෙන්කයි, සිංගට්ටාර්, සෙම්, සිංගන්ටාන් සිරුවෙන්ගායි,
හින්දි නාම – ගවුලි, කාජ්, කාජා, කාසි, බාජා
සංස්කෘත නාම – කණ්ඩාලිකා, අසනා, ඒක දිව්, ඒක වීර, මහාවීර, සකුවීර, සර්වරකා, පලසා, බ්‍රක්මා, වෘරෙක්ෂා, රත්ත පුෂ්ඨක, කිෂරෂ්
පර්යාය නාම
කණ්ටාලිකා
කැටකෑල
කැටකාල
කැටකෑල ප්‍රභේද
මෙහිදී බ්‍රයිඩේලියා රෙටුසා වර්ගය කැටකෑල වශයෙන් හඳුන්වනු අතර, තවත් වර්ග ඇත. බ්‍රයිඩේලියා ඇමිනා, බ්‍රයිඩේලියා මොන්ටානා, බ්‍රයිඩේලියා ස්පයි නෝයා.
ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, බුරුමය හා මලක්කාව වියලි කලාපයේ බෙහෙවින් වැඩෙන ඖෂධීය ගුණයෙන් යුක්ත කුඩා ගසකි. මුහුදු මට්ටමෙන් අඩි 2000 දක්වා තෙත් කලාපයේ ද දක්නට ලැබේ. ජූනි, ජූලි, මාස වල මල් හට ගනී. මල් දම් හා රත රත මිශ්‍ර වර්ණයෙන් යුක්ත පොකුරු වශයෙන් ඇත. පෙති 05 කින් යුක්තය.
ඖෂධීය පැලෑටියක් වන කැටකෑල ගසේ පොතු ස්නිග්ධය. ලා කහ අලු වර්ණයෙන් යුක්ත පොතු සහිත මෙම ගසෙහි ලපටි රිකිලි හා විහිදී යන අතු වල ඕවලාකාර පත්‍රිකා ඇත. පත්‍රිකා පහළ කොටස කෙටි කටුවකින් අත්තට සම්බන්ධ වී ඇත. ඉන්දියාවේ හා ලංකාවේ මෙම ගසෙහි පොතු ඖෂධයක් වශයෙන් ගනු ලබන අතර, එහි දැව ගෘහ නිර්මාණ සඳහා ප්‍රයෝජනයට ගනී.
නිජබිම
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය, මලක්කාව.
වර්ගී කරණය
ශාක වර්ගයට අයත්ය.
ප්‍රයෝජනයට ගන්නා අංග
කොළ, පොතු මුල්, මල්
ගුණ විස්තර
රස – කටු තික්ත කෂාය
ගුණ – ස්නිග්ධය
විර්යය – උෂ්ණ
විපාක – කටුක
ප්‍රභාව – භග්න සන්ධාන
කැටකෑල හග්න චිකිත්සාවෙහි අස්ථි සන්ධානය සඳහා බෙහෙවින් උපයෝගී කරගන්නේ පොතුය. ඒ කසට හා ස්තම්භන ගුණයෙන් යුක්ත බැවිනි. අස්ථි භග්නයක දී වාත කෝප වේ. එහි දී දැඩි ලෙස ශුලය ඇති වේ. එම වාතශුලය ද පොතු, යුෂ හා තලතෙල් යොදා සංස්කරණය කරන ලද ආලේපය බෙහෙවින් ගුණ දේ. කැඩුනු ඇට එකට තබා කැට කෑල පොතු පොතු තබා බැඳීමෙන් ඇට පෑහීම හෙවත් අස්ථි සන්ධානය වහා සිදුවේ. කැටකෑල පොතු, මුල්, කොළ, කහ ලුණු දමා කොටා තලතෙලින් මලවා බැඳීමෙන් සිඳී බිඳී ගිය අස්ථි ඉක්මනින් පෑහේ.
පියුෂණව ග්‍රන්ථයේ භගන්ධිකාරයෙහි සන්ධානයෝගයේ 04 වන ශ්ලෝකයෙන් ද
කණ්ඨාලිකා රසඃ පවාඃ
තද්වද් ලේ පාද් මුහුඃ මුහුඃ
ජින්න ගින්න චුතා සමිනාං
සම්‍යක් සන්ධානං කෘතමනමි.
කැටකෑල පොතු යුෂ පැසවා වරින් වර ලේප කරන්නේය. සිඳි බිඳි නෙරා ගිය ඇට මැනවින් පැසෙන්නේ යයි දන්නා ලද්දේ කෑලද්වය හෙවත් කැල දෙවර්ගය කැල හා කැටකෑල වශයෙන් බෙදේ. මෙම දෙවර්ගයම හග්න චිකිත්සාවේ දී යොදා ගනී.
මාත්‍රාව
කැට කැල ඒකීය ඖෂධයක් වශයෙන් ද වෙනත් ඖෂධ සමඟ මිශ්‍රව ද ප්‍රයෝග කෙරේ.
යෝග සංග්‍රහය
කැට කෑල පොතු යුෂ, තලතෙල් සමග මුසු කොට ආලේප වශයෙන් ද මැල්ලුම හා පත්තු වශයෙන් ද සංස්කරණය කෙරේ. පට්ටා හෝ පතුරු වශයෙන් පොතු සකස් කර ගත හැක. (කොළ යුෂ හා පොතු යුෂ කකාරා එයින් පොතු තම්බා භග්න ස්ථානයේ බැඳීම භග්න සන්ධානයට ප්‍රත්‍යක්ෂ ලෙස ගුණ දේ.)
කැටකෑල දේශීය වෛද්‍ය අංශයේ හන්දි වෙදකමට බෙහෙවින් ගැනේ. වැටීම්, තැලීම් ආදිය හේතු කොට ගෙන ඉලයේ ඇති වන වේදනා වල දී බටහිරට ගිය පැත්තේ පොත්ත පහතට ගලවා යුෂ ගෙන කකාරා පැණි පදමට ගෙන ශරීර උෂ්ණත්වය අනුව අභ්‍යංග කිරීම ගුණය, මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව භග්න වෙදැදුරුහු දනිති.
ආශ්‍රිත ග්‍රන්ථ හා උධෘත පාඨ
- පියුෂාර්ණව – භගන්ධිකාර – සංධාන යොගෞ පිටුව 547
- සාරාසංක්ෂේප – භග්න චිකිත්සා 57 ශ්ලෝකය
…… කුශාබන්ධනය හෙවත් බැඳුම් සඳහා පලාශ හෙවත් කැල පොතු ගැනීම සම්බන්ධ ශ්ලෝකය කඳීම් බොදුම්බරාග්වාත්ථ – සංජාජුන පලාගජඃ
- රාජ නිඝණ්ඩුව
- සරස්වති නිඝණ්ඩුව
- පේරාදෙනිය උද්භිද උද්‍යානයේ -ජාතික ඔසු උයනේ කාර්යාලයෙන් ලබාගත් සාහිත්‍යමය ලිපි
වෛද්‍ය සමුද්‍රා රත්නායක,
මධ්‍යම පළාත් සභා ආයු / කොමසාරිස්, ආයුර්වේද රෝහල.
පල්ලෙකැලේ.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



