BOTANICAL NAME – Gynura hispida Thw.
FAMILY- COMPOSITAE
පොදු සිංහල නම – අල බේත්, චීන අල (සීනල),
වෝපචිනි යන්නට අමතරව යෙදෙන පර්යාය නාම සලකා බලමු.
පර්යාය
සිංහල භාෂාවෙන්,
- චීන අල (1) (2) (4)
- චීනල ( 1 )
- සීනල (1)
- සීන් අල (1)
- මුල් බේත් ( 1 )
- පිරඟු අල,
සංස්කෘත භාෂාවෙන්.
ද්වීපාන්තර වචා (3)
අමෘතෝපහිතා (6)
හින්දි භාෂාවෙන්.
වෝපවිනි (3)
ද්‍රවිඩ භාෂාවෙන්.
පරන්හි පට්ටේ (3)
පරංගී වෙක්කායං (3)
පරංගි කෙලෙන්ගු,
ඉංග්‍රීසි භාෂාවෙන්,
වයිනාරූට් (3) (4)
දේශීය පුස්කොළ ආශ්‍රිතව
සීන මුල්
මුලබේත්
අල බේත්
ඉහත පර්යාය නාම සැලකීමේ දී අලබේත් නාමයට චීන අල, මුල් බේත්. වෝබචිනි. සීනල ආදී පර්යාය සඳහන් කළ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය උද්භිද විද්‍යාත්මක නාමය ලෙස Gynura pseudo china යන්න යොදා ඇත. එනමුත් චීන අල, චෝපචිනී. චයිනා රූට්, ද්වීපාන්තර වචා, අමෘතෝපහිතා ආදි නම්.සඳහන් කළ ඉන්දීය පොත් පත් හා ආයුර්වේද ඖෂධ සංග්‍රහය ප්‍රථම පියවර දෙවන කොටසේ උද්භිද විද්‍යාත්මක නාම ලෙස දැක් වූ Smilax glabra Roxb. කුලය – Liliaceac ඉංග්‍රීසි නාමය – China Root යන මේවා හෝ භාමිනි – වේ විද්‍යුතීනී ටීකාව දැක් වූ (අ) ජංගලී උශඛා Smilax macrophylla Roxb. (ආ) බඩිචෝපචිනි – Smilax glabra Roxb. (ඇ) හරියා ශුකවීන Smilax lanceafolia Roxb. (ඈ) උශඛා මග්‍රබ්, Smilax ornata Hook යන මේවා හෝ දක්වා නැත.
චීන අල ද්වීපාන්තර වචා නමින් හැඳින්වෙන්නේ එය ඉන්දියාවේ හැර වෙනත් දේශයක උපදනා බැවිනි.
අනික් සියලු පර්යාය නාම උපන් රට හා ඖෂධ සඳහා ගන්නා අංශය ආශ්‍රිතව ඇති වූ ඒවා බව පෙනේ.
උදා:- චීන අල, අල බේත්
භාව ප්‍රකාශයෙහි හරිත්‍යකාදී වර්ග යටතේ දක්වා ඇති චෝපවිනි ප්‍රයෝජ්‍ය අංගය ලෙස සළකා කරන ලද වර්ග කිරීමේ දී රසෝන කුලයට අයත් වේ.
අල බෙත් සඳහා යොදන පර්යාය සළකා බැලීමේ දී ” චෝපචීනි ” යන්න මුලික වේ. චෝපචිනි පිළිබඳ ව මුල් වරට සඳහන් වන ආයුර්වේද ග්‍රන්ථය ලෙස ” භාව ප්‍රකාශය ” හැඳින්විය හැකි ය.
අලබෙත් නමින් හඳුන් වන ද්‍රව්‍යය චීනය, සිංගප්පුරුව යන රට වලින් ගෙන්වා ශ්‍රී ලංකාවේ ඖෂධයක් ලෙස භාවිතා කෙරේ.
අලබේත් ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන ඇතුළු කිහිප තැනක දැක ගන්නට ලැබුණ ද උද්භිදයක් ලෙස ශ්‍රී ලංකාවේ පැතිරී නැති නිසා බොහෝ දෙනා නො හඳුනති.
එසේ වුවද අතීතයේ දී මෙම ශාකය ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍යවරුන් අතර දැනට වඩා බහුල ව භාවිතා වූ බව පාරම්පරික වට්ටෝරු පරිශීලනයන් දී පෙනී යයි.
අල බේත් පැළෑටියේ අලය ඖෂධ සඳහා ගනු ලබන අතර චෝපචිනි තික්තරසය. උෂ්ණ වීර්යවත් ය. ලඝු, රූක්ෂ ගුණ ඇති මෙහි විපාකය කටුකය. ත්‍රිදෝෂ ශාමකය.
මෙය මල මුත්‍ර ශෝධනය හා අග්නි වර්ධනය සඳහා යෙදිය හැකි වන අතර පක්ෂාඝාත ආදී වූ වාත රෝග සඳහා ප්‍රශස්ථ ඖෂධයකි. ඌර්ධවජත්‍රැගත රෝග, චර්ම රෝග සහ සන්ධිගත රෝග සඳහා යොදන ඖෂධ සංයෝග වල චීන අල බහුලව අඩංගු වේ. ඒකීය ද්‍රව්‍යයක් ලෙස බල කාරක මෙන්ම ධාතු වර්ධක ගුණ බලාපොරොත්තුවෙන් මෙය යෙදිය හැකි වේ.
ඖෂධ සඳහා භාවිතා කරන චෝපචිනි අලය (කන්ද) වියලීමෙන් පසු තෙතමනයෙන් ආරක්ෂා වන පරිදි අසුරා තැබිය යුතු වේ.
ශ්‍රී ලංකාවට මෙම ඖෂධය ආනයනය කිරීමේ දී,
(i) සූර්ය තාපයෙන් වියලන ලද
(ii) වෙනත් උෂ්ණත්වයක් භාවිත කරමින් වියලන ලද
යනුවෙන් වර්ග දෙකක් ලැබෙන අතර, සූර්ය තාපයෙන් වියලන ලද වර්ගය මිල වැඩිය.
ශිව නිඝණ්ඩුවට අනුව ඖෂධ සඳහා ප්‍රශස්ථ වනුයේ බර, ලා කහ පැහැති, ගැට සහිත අලයි.
පදාර්ථ ගුණ වෙල්ලකං නමැති සිද්ධ වෛද්‍ය ද්‍රව්‍ය ගුණ ග්‍රන්ථයට අනුව අළුත් මුල් පරණ මුල් වලට වඩා ගුණ වැඩිය.
චීන අල වර්ණය ග්‍රෑම 3 – ග්‍රෑම 6 දක්වා ප්‍රමාණයක් ඒකීය ඖෂධයක් ලෙස වැඩිහිටියෙකුට යෙදිය හැකි අතර, විශේෂයෙන් වර්ණ කෂායට වඩා ගුණ දායක බව වෘද්ධ වෛද්‍ය මතයකි.
අල බේත් ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ පැත්මන නමින් හැඳින්වෙන ඖෂධ වුර්ණ ඛණ්ඩයේ අඩංගු වේ.
උදාහරණ:
ස්වර්ණ මන්ත්‍රී පැත්මන – ගෙඩි වන පිළිකා ආදිය සඳහා ද,
ශර්කරාදී පැත්මන – පීනස ආදී රෝග සඳහා ද,
මහා නිම්බාදි පැන්මත – ශීර්ෂශූල, කුෂ්ඨ සඳහා ද යෙදේ.
මෙම ඖෂධ චූර්ණවල 25% දක්වා ප්‍රමාණයක් අල බෙත් අඩංගු වන අතර මෙම ඖෂධ සංයෝග බොහෝමයක මාත්‍රාව බිලාල පාදයක් ලෙස සඳහන් වේ.
” බිලාල ” පාදය යනු රෝගයාගේ මහපටැගිල්ල, දබරැගිල්ල හා මැදගිල්ල භාවිතා කරමින් රඳවා ගත හැකි වුර්ණ ප්‍රමාණය වේ.
ශ්‍රී ලංකාවේ දැනට චීන අල පැත්මන නමින් හඳුන් වන්නේ රජරට ප්‍රදේශයේ පමණක් වන අතර අනිත් ප්‍රදේශ වල අල ඛේත් චුර්ණ නමින් මෙම සංයෝග භාවිතා කරයි.
දේශීය චිකිත්සාවේ සඳහන් වන චීන මුල් අරක්කුව. අග්‍රරාජ ක්වාථය වැනි ඖෂධ සංස්කරණ සඳහා ද චීන අල භාවිතා කරයි.
අශ්වගන්ධා සමං පත්‍ර මෝෂධීර් ග්‍රන්ථි සංයුතා වර්ණතා පාටලා හා ව දණ්ඩාව මධුරා රසේ.
ශිව නිගන්ටුව
එරංග දේශ සමිභූතා චීන දේශේථ විශ්‍රැතා
නාමතශ් චෝපවිනීස්‍යාදශ්වගන්ධ සමා භවේත්
ද්වීපාන්තර වවා කිංචිත් තින්තෝෂ්ණ වහ්නිදිප්ති කෘත්
විබන්ධාධමාන ශුලස්නි ශකෘන් මුත්‍ර විශෝධිනී වාතව්‍යාධීනපස්මාර මුන්මාද කනු වේදනාම ව්‍යපොහති විශේෂණ විරංගාමය නාශනි
(භාව ප්‍රකාශ)
ආශ්‍රිත ග්‍රන්ථ:
- දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය – පණ්ඩිත කිරි ඇල්ලේ ඤාණවිමල හිමිපාණෝ
- නාදකරණිගේ ඉන්දියන් මැටිරිකා මෙඩිකා
- ශ්‍රී භාව ප්‍රකාශ විද්‍යාතිනි පාන්දි ටිකා පණ්ඩිත ශ්‍රී බ්‍රහ්ම ශංකර් මිශ්‍ර 1949 ප්‍රකාශක – ජයක්‍රිෂ්ණදාස් හරිදාස් ගුප්ත බෙනාරිස්
- මහෞෂධ නිසංටුව
- ආයුර්වේද ඖෂධ සංග්‍රහය ප්‍රථම පියවර දෙවන කාණ්ඩය 1979 ආයුර්වේද දෙපාර්තමේන්තුව.
- ශාලිග්‍රාම නිඝණ්ට භූෂණ
- භාවමිශ්‍ර නිඝණ්ඩු වියතීනී ටීකා.
- සර්වාර්ථ සංග්‍රහය.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



