තිත් පොළඟා

Snakes of Sri Lanka

Müller’s Shieldtail /තිත් තුඩුල්ලා (Rhinophis punctatus Müller, 1832)
on December 27, 2020 Rhinophis Shieldtail තුඩුල්ලා
2
Russell’s Viper/තිත් පොළඟා (Daboia russelii-Shaw & Nodder, 1797)
on December 31, 2016

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Chain Viper දාර පොළඟා கண்ணாடி விரியன், Kathire Pambu
Click Here for Synonyms
Coluber Russelii [sic] SHAW & NODDER 1797: plate 291
Vipera elegans DAUDIN 1803: 447
Daboia elegans — GRAY 1842: 69
Daboia pulchella GRAY 1842: 69
Daboia Russellii GRAY 1849
Daboia elegans — SHORTT 1863: 384
Vipera Russellii STRAUCH 1869
Vipera russelli — SMITH 1943: 482
Vipera russelli nordicus DERANIYAGALA 1945
Daboia russelii — OBST 1983
Daboia (Daboia) russelli pulchella — OBST 1983
Daboia russelli russelli — WELCH 1994: 51
Daboia russellii — MANTHEY & GROSSMANN 1997: 434
Daboia russelii — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 371
Vipera russelli — SHARMA 2004
Daboia russelii — THORPE et al. 2007
Daboia russelii — WALLACH et al. 2014: 208

ජනවහරේ දී පලිගැනීම හා කෝපය යන කරුණු මගින් ඔපවන් කල සර්පයෙක් ලෙස තිත් පොළගා සැලකිය හැක. පොළගා යන නාමය සඳහන්කළ විටක ක්‍ෂණයෙන් අප මනසට නැගෙන්නේද තිත් පොළගායි. ජනයා තුල මෙම සර්පයා පිලිබඳ ඇත්තේ හුදෙක් බියමුසු ආකල්පයක් පමණි. මෙම සත්වයන් මගින් සිදුවන නිහඬ පාරිසරික සේවය ගැන අවබෝධ කරගැනීම අප සතු වගකීමක් වේ. තිත් පොළගුන් අයත් වන්නේ සැබෑ පොළගුන් යැයි සැලකෙන viparinae උප කුලයටයි. ශ්‍රී ලංකාවේ වෙසෙන පොළොන් විශේෂ අතුරින් වැඩිම දිගකට හා වැඩිම සර්ප දෂ්ටන නිසා සිදුවන මරණ වලට හිමිකම් කියන්නේ තිත් පොළගායි. ඉතා ශීත කාලගුණයක් ඇති ඉහල කඳුකරයේ හැරුනුකොට මුහුදු මට්ටමේ සිට 1500m තෙක් වූ මධ්‍යම කඳුකරය දක්වා ඇති සියලු දේශගුණික කලාප වල ව්‍යාප්ත වී සිටින සුලබ සර්ප විශේෂයක් ලෙස තිත් පොළගා සැලකිය හැක.

ශරීරය පුරාවටම කීලකයක් සහිත කොරල වලින් වැසී ඇති රළු ප්‍රෂ්ඨිමත් දේහයකට හිමිකම් කියන මෙම සර්පයාගේ නැට්ට ඉතා කෙටි වන අතර ශරීර ප්‍රමාණය සමඟ සැසදීමේදී කුඩාය.උදරීය පැහැය සුදු හෝ කහ මිශ්‍ර සුදු වේ. ශරීරය ලා කහ පැහැයේ සිට දුඹුරු පැහැය තෙක් ඇති වර්ණ පරාසයකින් හමුවේ. ගෙලෙහි සිට නැට්ට ප්‍රදේශයට වන්නට ප්‍රෂ්ඨීයව දිගු අතට පිහිටා ඇති දුඹුරු පැහැති පුල්ලි පෙළ මෙම සර්පයා හඳුනාගත හැකි ප්‍රධාන සාධකයකි. ඇතැම් සතුන්ගේ මෙම පුල්ලි එකිනෙක යාවී දම්වැලක හැඩයෙන් පිහිටන අතර පැහැදිලිව වෙන්ව ඇති සතුන්ද ඇත. මෙම පුල්ලි ශරීරයේ ද්වීපාර්ශවිකවද පිහිටා ඇතත් ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා වේ. පුල්ලි මායිම් වන කළු පැහැති වට දාරයත් එය මායිම් වන්නට තවත් සිහින් සුදු පැහැති වට දාරයක් පිහිටීම නිසා ඉතා අලංකාර වර්ණ හා පුල්ලි රටාවකට තිත් පොළගා හිමිකම් කියයි. ගෙලින් පැහැදිලිව වෙන්වූ ත්‍රිකෝණාකාර පැතලි හිසක් පිහිටා ඇත. ප්‍රෂ්ඨීයව හිසේ පෙර දෙසට වන්නට තුඩ පිහිටි ඉංග්‍රීසි “V” අකුරේ හැඩය ඇති සුදු පැහැ සලකුණක් පිහිටා ඇත. මෙම සලකුණද මෙම සර්ප විශේෂය හඳුනාගැනීමට භාවිතා කල හැකි සාධකයකි. හිසෙහි ඇති තවත් එක් හඳුනාගැනීමේ සාධකයක් නම් අපර දෙසට වන්නට කලින් සඳහන් කල V හැඩති සලකුණ ස්පර්ශ වී තිබෙන විශාල දුඹුරු පුල්ලි දෙකයි. Daboia ඝනයේ අනෙක් පොළගුන් මෙන් තිත් පොළගාටද ඉතා විශාල නාස් කුහර පිහිටා ඇත. සිරස් කනීණිකාවක් සහිත ඇස තම නිසාචර දිවිය විදහාපාන ලක්ෂණයකි.

ප්‍රධාන ලෙස භෞමික සර්පයෙක් වුවද කෙටි උසකින් යුත් ශාක හා පඳුරු වලට නැගීමේ හැකියාවක් ඇත. ආහාර ප්‍රබව වල බහුලතාවය හේතුවෙන් කෘෂිකාර්මික භූමි වල නිතර දැකගත හැකි සර්පයෙකි. තම දේහ වර්ණ පරිසරයත් සමග අනුවර්තනය කරගන්නා තිත් පොළගුන් වියලි දිරාපත්වන කොළ රොඩු අතර නිසොල්මන්ව රැක සිට පහර දෙන විලෝපිකයෙක් වේ(Ambush Predator). ප්‍රධාන ලෙස නිසාචර සර්පයෙක් වුවද ගොම්මන් කාලයේ හා ඇතැම් විට දහවල් කාලයේද දැකගත හැක. දිවා කාලයේදී තරමක් අලසව සංචරණයේ යෙදුනද ගොම්මන් කාලයේ හා රාත්‍රී කාලයේ ක්‍රියාශීලී වේ. ඉතා ඉක්මනින් කලබල කාරී වන තිත් පොළගා තමාට තර්ජනයක් දැනුන විගස පලා යෑමට තැත් කරයි. එසේ කිරීමට නොහැකි නම් ශරීරය දරනයක් ගසා ඉතා උස් හඬින් පිඹීමක් සිදු කර අනතුරු හඟවයි. සපා කෑමට හැකි සීමාවට තම විලෝපිකයා හෝ ගොදුර පැමිණි විට දුන්නක් සේ තම හිස නිදහස්කොට පහර දේ. ඇතැමුන් පොළගුන් පැන පැන පහර දෙන බව සඳහන් කරන්නේ මේ නිසායි. මෙය පොළගුන් පමණක් නොව. බොහෝ නිර්විෂ සර්පයන් පවා සිදුකරන ආරක්ෂක පියවරකි. ප්‍රජනනයේ දී අන්ඩජලාබුජතාව පෙන්වන තිත් පොළගුන් වරකට පැටවුන් 5-50ත් අතර සංක්‍යාවක් ප්‍රසූත කරයි. උපතේදී පැටවුන් දිගින් 20cm තරම් වන අතර හොඳින් වැඩුනු සතෙක් 130-180cm තරම් වේ. තම ප්‍රධාන ආහාරය ලෙස මීයන් වැනි කුඩා ක්ෂීරපායී සතුන් අහාරයට ගනී. මීට අමතරව මැඩියන්, ගෙම්බන් හා කුරුල්ලන්ද ආහාරයට ගත් අවස්ථා සඳහන් වේ.

වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් කමක් ඇති තිත් පොළගාගේ විෂ ප්‍රධාන වශයෙන් රුධිර සංසරණ පද්ධතියට හානි කලද , ස්නායුක විෂ හා වකුගඩු වලට හානි කරන විෂ ධුලක වලින්ද සැදී ඇති ප්‍රබල විෂකි. solenoglyphous ආකාරයේ දියුණු විෂ පරිවහන පද්ධතියක්, දිගු විෂ දල පිහිටීමත්, මිනිස් වාසස්ථාන හා කෘෂි වගාබිම් ආශ්‍රිතව නිතර හමුවීමත්. ශරීරය පරිසරයට අනුවර්තනයවී තිබීම නිසාත් යන සාධක හේතුවෙන් විෂ ශරීරගත වන යාන්ත්‍රික කාර්යක්ෂමතාවින් වැඩි දෂ්ටන බහුලව සිදු වේ. ස්ථානීය රෝග ලක්ෂණ (Local Envenomation) හා මුළු ශරීරයටම බලපාන රෝග ලක්ෂණ (Systematic Envenomation) දෙවර්ගයම රෝගීන් ගෙන් දැකගත හැක. ස්ථානීය රෝග ලක්ෂණ ලෙස දෂ්ට මුඛයෙන් අධික රුධිර වහනයත්, දිය පට්ටා දමා ඉදිමීමත් නිරීක්ෂණය කල හැක. ශරීරයට බලපාන රෝග ලක්ෂණ ලෙස අබ්යන්තර රුධිර වහනය, ඇස, නාසය, විදුරුමස්, ලිංගික ඉන්ද්‍රියන් වලින් රුධිර වහනය, වකුගඩු අකර්මන්‍ය වීම හා වමනය සමග රුධිරය පිටවීම දැක්විය හැක. තිත් පොළොන් විෂ රුධිරය කැටිගැසීමට අවශ්‍ය සාධක සක්‍රීය කරන අතර දිගින් දිගටම සිදුවන ලේ කැටිගැසීමේදී Fibrinogen නම් රුධිර කැටිගැසීම සිදු කරන ප්‍රෝටීනයද වැයවී අවසන් වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස රුධිර නාල පුපුරා ශරීරයේ ඉහත සඳහන් ස්ථාන වලින් රුධිරය වහනය වීම(Venom Induced Consumptive Coagulopathy) සිදු වේ.පටක කුණු වී යාම (Tissue Necrosis) ඇතිවන අවස්ථාද මෙම සර්පයාගේ දෂ්ටන නිසා සිදුවේ. මිනිසා සඳහා මාරක මාත්‍රාව 40-70mg තරම් වන අතර වැඩුන සතෙක් හට එක් දෂ්ටනයකදී විෂ 130-250mg අතර ප්‍රමාණයක් ශරීරගත කල හැක. දෂ්ටනයකින් පසු නිසි වෛද්‍ය ප්‍රතිකාර නොකළහොත් රෝගියා මරණයට පත්වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහලය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top