කංසා – ගංජා

උද්භිද නාමය – Cannabis sativa L. CANNABINACEAE.

සිංහල – කංසා ගංජා

සංස්කෘත – හංගා, මාතුලානි, මාදිනි, විජය, ත්‍රෙෙලෝක්‍ය විජයා, සිද්ධි

හින්දි – භාංග

බෙංගාලි – ගංජා, භාංග්, සිද්ධි, පංගි, කජා

ඉංග්‍රීසි – Indian Hemp

අරාබි – හෂීස්

අමෙරිකා – මරිජුවානා, මරිහුවානා

මධ්‍යම හා බටහිර ආසියාව නිජබිම කොට ගත්තා වූත් ලෝකයේ වෙනත් රටවල ද හොඳින් වැවෙන ශාකයකි. විශේෂයෙන් සෞම්‍ය හා නිවර්තන දේශගුණික කලාපවල හොඳින් වැවේ.

චීනයෙන් ඉන්දියාවට ද එතැනින් උතුරු අප්‍රිකාවට ද ව්‍යාප්ත වූ කන්සා ශාකය ඊජිප්තු යුද්ධ වලින් පසුව නැවත තම රටවලට පැමිණි නැපෝලියන්ගේ හමුදා භටයන් මඟින් යුරෝපය කරා රැගෙනවිත් ඇති බව මේ පිළිබඳව අතීතය කරා සොයා යන විට පෙනේ. ක්‍රි.පූ. 2737 දී රචිත ෂංසුං නැමැති චීන අධිරාජයාගේ වෛද්‍ය ග්‍රන්ථයක ඖෂධයක් වශයෙන් මෙම කන්සා භාවිතයට ගෙන ඇති බව දැක් වේ.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික (දකුණු), රටවල ප්‍රචලිතමත් ද්‍රව්‍යයක් වශයෙන් භාවිත කරන ගංජා අනවසරයෙන් වගා කිරීම තහනම් කර ඇතත් නොයෙක් තැන්වල (කැලෑවල) නීතිවිරෝධි ගංජා හේන් ඇති බව වාර්තා වී ඇත.

1984 අංක 13 දරන විෂවර්ග සහ අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත අනුව නීති විරෝධි ලෙස ගන්ජා ආනයනය දඬුවම් ලැබිය යුතු වරදක් වේ.

ශාකයේ ලක්ෂණ

වාර්ෂික පැළෑටියක් වන මෙම ශාකය මීටර් 1 – 3 දක්වා (අඩි 3 – 16) දක්වා උසින් වැඩේ. සෘජු සිහින් කඳේ පහළ රළු ස්වභාවයක් ගනී. එහි පොතු ගැලවෙන ස්වභාවයක් ඇත. පත්‍ර අළු පැහැයට හුරු කොළ පැහැයක් ගන්නා අතර ශාකය මුළුමනින්ම බූවකින් වැසී ඇත.

පත්‍ර ඒකාන්තර හෝ සම්මුඛව පිහිටි පානිවන් සංයුක්තපත්‍ර පිහිටයි. අග පිහිටන රේඛීය උපපත්‍ර ඇත. මෙය වෘන්තය කඳට සවිවන ස්ථානයේ ඇත.

පත්‍රිකා 5 සිට 7 දක්වා ඇති අතර ඉහලින් පිහිටි පත්‍ර වලදී පත්‍රිකා 3 ක් පමණක් පිහිටයි. ලන්සාකාර, රේඛීය, නිර්වෘන්ත, පත්‍රිකා වල අග්‍රය තීව්‍ර වේ.

ශාක ස්ත්‍රී ලිංගික හා පුරුෂ ලිංගික වශයෙන් හඳුනාගතහැකිය. මෙහි බහු අක්ෂීය පුෂ්ප මංජරියක කුඩා ඒක ලිංගික පුෂ්ප වශයෙන් ඇත. පුෂ්ප මංජරිය අක්‍රමත්ව පිහිටන අතර පරිපුෂ්පයකි.. පහකට බෙදී ඇති අතර ආයතයි රේණු 5 කි. නාරටි 5 ක් සමන්විත වූ පරිපුෂ්ප පත්‍ර උත්තර ඩිම්බ කෝෂය වට කරමින් පිහිටයි. කීලය දෙකට බෙදී ඇති අතර කිලයේ පිහාටු මෙන් කෙඳි පිහිටයි. ඵලය කුඩා වන අතර විශේෂ ලක්ෂණයක් වශයෙන් මිලි මීටර් 2 ක් වන බීජ නොහැලෙන කොලපුවකින් වැසී ඇති අතර පහසුවෙන් හඳුනා ගත හැක. බිජ ඇල්බියුමන් සහිතයි.

ශාකයෙන් තියුණු සුවඳක් නික්මෙන අතර ශාක පත්‍ර මතහා පුෂ්ප මංජරියේ සූක්ෂම පත්‍රිකා මත ඇති රෝම මගින් නිකුත් කෙරෙන ඇලෙන සුළු මැලියම (රෙසිනය) ශාකයේ ක්‍රියාකාරී ඖෂධ සංයෝගය වශයෙන් ගැනේ.

ඉන්දියාව අතීතයේදී කන්සා නියඳ කෙඳි ලබා ගැනීම සඳහා පාවිච්චි කර ඇති අතර ක්‍රි. පූ. 5 වන සියවසේ විසූ හෙරඩෝටස් පවා මෙම නියඳ කෙඳි පිළිබඳ සඳහන් කර ඇත. කන්සා මගින් ලබා ගන්නා නියඳ කෙඳි මගින් රුවල් රෙදි බුමුතුරුණු විවීම, කඹ හා ට්වයින් නූල් ඇඹරීම සඳහා අදත් ඉන්දියාව හා ජපානය කන්සා වගා කරයි.

අතීතයේ මෙම නියඳ කෙඳි මගින් රෙදි වියන ආකාරය ග්‍රීකයන් ඉන්දියාවෙන් ඉගෙන ගන්නට ඇතැයි කරුණු හෙළි වී ඇත. කන්සා වල කැනබිස් යන උද්භිද නාමය සංස්කෘතයේ “ශන” යන්නෙන් බිඳී ආවකි.. කන්සා ඇටවලින් විශේෂ නිෂ්පාදන කිහිපයක් කෙරේ. එනම් මෘදු සබන් වර්ග සෑදීම, වර්ණ මිශ්‍ර කිරීමට ද, වහා වියලෙන තෙලක් වශයෙන් සායම් කර්මාන්තයේ දී දැවුම් තෙලක් වශයෙන් ද, භාවිතා කරන මෙම කර්මාන්ත සඳහා අමරිකාව වාර්ෂිකව ඉතා විශාල වශයෙන් ආනයනය කරයි.

කන්සා ඇටය මිහිරි රසින් යුතු වන අතර එහි ප්‍රෝටීන් හා ඇමිනෝ අම්ලය අධිකය. ඇට වලින් තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරිවන රොඩ්ඩ ඝණ ආහාරයක් වශයෙන් ද (විශේෂයෙන් කුරුළු ආහාරයක් වශයෙන්) පොහොරක් ලෙස ද භාවිතයට ගැනේ. ත්‍රෛලෝක්‍ය විජය වශයෙන් හඳුන් වන (තුන් ලොව ජය ගෙන දෙන යන අරුත දේ) කන්සා ගැන අප මෙපමණ කථා කලත් කන්සා ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ මේ හේතුන් නිසා නොව එහි ඇති ප්‍රබල රසායනික සංයෝගයන්ගෙන් ( මත්ද්‍රව්‍යයක් වශයෙන්) මිනිසා ලබා ගන්නා මනෝන්මාදනීය තත්වය නිසාය.

අරාබියේ / ඉන්දියාවේ සමහර ආගමික උත්සවවලදී කන්සා වලට විශේෂ තැනක් හිමිවන අතර අප කවුරුත් දන්නා මුස්ලිම් වරුන්ගේ උත්සව අවස්ථාවලදී පානය සඳහා සාදා ගත්තා සජි නැමති බීම වර්ගය සාදා ගන්නේ කන්සා වලිනි.

පෙරදිග පැරණි සාහිත්‍ය හා වෛද්‍ය ග්‍රන්ථ වල කංසා ගුණය පිළිබඳ තොරතුරු රාශියක් දැක්වේ.

කත්සාවල ඇති ඖෂධීය ගුණය අඩි 6000 – 8000 අතර ප්‍රදේශ වලදි හොඳින් ඇතිවන අතර වැවෙන ප්‍රදේශය අනුව දේශගුණය, ගසට ලැබෙන සාත්තුව අනුව එය වෙනස් වේ. පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත්තේ පරපරාගනයෙන් ලබා ගන්නා බීජවලින් බෝ කර ගන්නා ශාකවල ඖෂධීය ගුණය (ක්‍රියාකාරී සංයෝගය) අධික වන බවයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී සුරන් විදුර ජීවානන්ද ගුලිය, යසෝදරා කල්කය, සුරාසව මදන මෝදකය, කමේශ්වර මෝදකය, ත්‍රෛලෝක්‍ය සම්මෝහන රසය, ආදී ඖෂධ රාශියක් සඳහා භාවිතා කරයි. මත්ගතිය අධිකව ඇත්තේ ස්ත්‍රී ලිංගික ශාකයේ ලබා ගන්නා ඖෂධ වල වන අතර ප්‍රබල මත්ද්‍රව්‍ය 3 ක් ඇති අතර ඉන්දියානු නම් වලින් ඒවා හොං, ගංජා හා කරාස් නමින් හැඳින් වේ.

ගංජා

අධික රෙසීන ප්‍රමාණයක් අන්තර්ගත ගංජා සාදාගනුයේ හොඳින් මේරූ කංසා ශාකවල පුෂ්ප මංජරී සහිත අතු අගිස් කඩා පදමට වියළා ගැනීමෙනි. ලංකාවේ ගංජා වශයෙන් භාවිතා කරනුයේ මේ ආකාරයේ ගංජා නොවන අතර ක්‍රියාකාරී සංයෝගය අඩු මේරූ කංසා ශාක පත්‍ර වියළා ගැනීමෙනි. (පුෂ්ප මංජරි සුළු ප්‍රමාණයක් ඇතුලත් වේ.)

හාං

ස්ත්‍රී, පුරුෂ ශාක දෙවර්ගයේම ලබා ගන්නා මේරූ අග්‍ර කඩා වියළා සකස් කර ගන්නා අතර මෙහි ක්‍රියාකාරී සංයෝගය ගංජා වලට වඩා ඉතා අඩු වේ. (5% පමණ)

වරස් (හෂීස් )

කන්සා වලින් නිෂ්පාදනය කරනු ලබන ක්‍රියාකාරී සංයෝගය අධික වූ හෂීස් නිෂ්පාදනය කරනු ලබන්නේ දුෂ්කර ක්‍රමයකටය. එනම් අඩි 6000 – 8000 ක් වූ උස් කඳුකරයේ වගා කරන කන්සා වගාවේ මැලියමයෙන්ය. තියුණු ගන්ධයකින් හා තද දුඹුරු හා කොළ පැහැයෙන් යුතු මෙම මැලියම් ලබා ගනුයේ මේරූ මල් සහිත කන්සා වගාවේ ගස් අතර සම් ඇඳුමක් ඇඳ ඇවිද යාමෙන් සම් ඇඳුමේ අත්වල ඇලෙන මැලියම් එකතුකර සූරා ගැනීමෙන් හා මේ රූ මල්කිනිති දෑතින් පොඩි කිරීමෙන් ලබා ගන්නා මැලියමෙන්ය.

කංසා ශාකයේ ක්‍රියාකාරී සංයෝගය වනුයේ ශාක පත්‍ර මත හා පුෂ්ප මංජරියේ සුක්ෂම පත්‍රිකා මත ඇති රෝම මගින් නිකුත් වන ඇලෙන සුළු රෙසීනය හෙවත් මැලියමයි. මෙම මැලියම් (රෙසීනයේ) විවිධ රසායනික සංයෝග 50ක් පමණ දැනට හඳුනාගෙන ඇති අතර ඒවායේ ක්‍රියාකාරීත්වයක් පිළිබඳව අවසාන නිගමනයන්ට මෙතෙක් එළඹී නැත. එම සංයෝග අතුරින් ප්‍රධාන වශයෙන් කැනබිනෝල්, සියුඩෝ කැනබිනෝල්, කැනබිනින් හා ටර්පින් වශයෙන් හඳුනාගතහැක.

කැනබිනෝල් ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගය වන නමුත් එයත් තව සංයෝගයක මිශ්‍රණයක් බව සොයා ගෙන ඇත. කබිනෝල් වල ව්‍යුත්පන්නයක් වන ඩෙල්ටා – 9 – මෙටාහයිඩො කැනබිනෝල් සත්වයින්ගේ කායික හා මානසික විපර්යාස කෙරේ මුලික වන බව සොයාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වශයෙන් ලොව විවිධාකාරව භාවිතා කරන කන්සා වලට මත්ද්‍රව්‍ය ලැයිස්තුවේ සිව් වැනි ස්ථානය ලැබී අතර පහසුවෙන් ලබාගත හැකිවීමත්, මිළ අඩු වීමත් නිසා කන්සා ජනප්‍රිය වී ඇත. දුම්පානයක් ලෙස ද රස කැවිලි හා මිශ්‍ර කොට ද, මිශ්‍ර පානයක් ලෙස ද (සබීජි), මත්ද්‍රව්‍ය ලෝලීන් පාවිච්චි කරයි.

ත්‍රෛලෝක්‍ය විජය වශයෙන් එයට දී ඇති නාමයෙන්ම (තුන්ලොව ජයගත හැකි) එහි අගය වටහා ගත හැක. වෛද්‍ය ක්‍රම වලදී නියමිත මාත්‍රාවෙන් අවශ්‍ය වූ විට ලබාදීමෙන් හා ඖෂධ සංයෝගයක් වශයෙන් මිශ්‍ර කර ලබාදීමෙන් ඉමහත් ප්‍රතිඵල නෙලාගත හැකි ඉතා වටිනා ඖෂධයක් වන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව ඌෂ්ණ හෙයින් වාත හා සෙරෝග නැති කර පිත් රෝග වර්ධනය කරයි. වේදනා නාශක ගුණය ඇති කරයි. දහදිය දැමීම ඇති කරයි. රුචිකරයි, උත්තේජකයි, නිද්‍රාජනකයි.

අභ්‍යන්තර වශයෙන් හෘදයට හිතකර වන අතර නාඩි ස්පන්දනය වැඩිකර පසුව අඩු කරයි. ලේ වඩයි. මත්ද්‍රව්‍යයක් බැවින් මුල් අවස්ථාවේ සතුට ඇතිකර පියවි ලොවෙහි කටුක බවින් මුදවා සුවදායී මිහිරි ලොවකට ගෙන යන අයුරක් මවා පායි. පුද්ගලයා විනෝදමත් භාවයකට පත්කර සිත් වේදනාවත් අමතක කරලයි. සිහින ලොවක මල් ගොමුවක ඇදී යන්නාක් මෙන් දැනේ. මෙහිදී ඇතිවන විශේෂත්වය වන්නේ තමාගේ ඇසට පෙනෙන, කණට ඇසෙන, හා සිතට දැනෙන සෑම දෙයකින්ම නව මිහිරක් ඇති බව ඔහුට දැනෙන්නට වීමයි. මිනිසා විසින් කන්සා ශාකයේ තිබූ වටිනා ගුණය පිළිබඳව අතීත කථාවක් වේ. ඒ කථාව අනුව අමෘතය සොයා කිරි මුහුද කැලැම්බූ දෙවියන්ට කන්සා ගස හමු වී ඇත. දෙවියන් විසින් මිනිසාගේ සුවසෙත පතා කන්සා ශාකය මෙලොවට එවූහ. මෙයින්ම කන්සා ශාකයට මිනිසාගේ තිබූ ඇල්ම මනාව පැහැදිලි වේ.

අනෙක් මත්ද්‍රව්‍යයන් සමග සසඳන කල කන්සා එතරම් ශරීරයට අහිතකර දෙයක් නොවන බව මෑතක් වන තුරු බොහෝ දෙනා සිතා සිටියහ. නමුත් සත්‍ය එය නොවේ. එය අහිංසක මත්ද්‍රව්‍යයක් නොව ශරීරයට අහිත කර දෙයක් බව පර්යේෂණ වලින් ඔප්පු වී හමාරය. මෙයින් ඇතිවන කායික හා මානසික හානිය සුළුපටු නොවේ.

තාවකාලික සිහින ලෝකයකට ගෙනයන ගංජා මගින් දීර්ඝකාලීනව විවිධ රෝග රාශියක් දායාද කරයි.

කන්සා පාවිච්චි කර දෙවන අවස්ථාවේදී ඔහුගේ මනසේ ක්‍රියාකාරීත්වයේ විකෘතිතාවයක් ඇති වේ. පළමු අවස්ථාවේ තිබූ මද නින්ද තද නින්දක් බවට පත්වේ. කන්සා වැඩි ප්‍රමාණයක් ගත්විට නින්දෙන්ම ශ්වසනය ඇන හිටී මරණයට පත් වේ. කන්සා භාවිතයෙන් මානසික ක්‍රියාකාරීත්වය විකෘති වන බැවින් ඔහුට දැනෙන්නේ නව මානසික පිබිදීමක් ලෙසය. ගඳ, සුවඳ දැනීම තියුණු වන බව ද දීප්තිමත් වර්ණ පිළිබඳ දැඩි සංවේදීතාවයක් හටගැනීම ද සියුම් ශබ්ද පිළිබඳව දැඩි අවධානය ද කාලය පිළිබඳ වික්ෂිප්තස්වභාවයක් හට ගැනීම ද සිදු වේ. මතින් සිටින්නාට මේ සියල්ලම සුභවාදීව පෙනේ. කන්සා මතින් සිටින්නා සිතනුයේ තමන්ට තර්ක කිරීමේ හැකියාව කන්සා මගින් හොඳින් වැඩිවන බවය. එසේම මතක ශක්තිය ද අධික වන බවයි. නමුත් තත්වය එසේ නොවේ. කන්සා මතය මොළයේ තර්කන හා චින්තන කේන්ද්‍රය මත කෙලින්ම බලපෑමෙන් ඇතිවන මානසික විකෘතිතාවය නිසා මෙම තත්වයන් ඇති වේ. මෙවැනි තත්වයන් ඇතිවීම නිරෝගී මනසක් ඇති අයට හිමි ඒවා නො වේ.

ගංජා ගන්නා මාත්‍රාව අධික වීමෙන් මානසික අවනතිය ඇති වීමත්, පසු කරකැවිල්ල, දොඩවමින් සිනාසීම, කම්පනය, සන්වේදනය නොදැනීම, පේශීන්ගේ දුර්වලතාවය, ක්ලාන්තය ඇති වේ. මෙය තවත් අධික වීමෙන් වෙනත් අයගේ මරණය සිදු කිරීමට පවා පෙළඹී යයි.

මෙවැනි කන්සා මතට පත් වූ අයට ආමාශය සේදීම හා ඉන්පසු ආහාර වශයෙන් එළකිරි, ගිතෙල්, කෝලිකුට්ටු, සුවදෙල් ආදී ආහාර දී විෂ නැසිය යුතුය.

කන්සා වෙනත් මත්ද්‍රව්‍ය මෙන් ඇබ්බැහි නොවන ඖෂධයක් සේ මුලින් සැලකුවත් දැන් එය වෙනස් වී ඇත. මෙහි ක්‍රියාකාරී සංයෝගය වන ටෙට්‍රා හයිඩ්‍රො කැනබිනෝල් (T.H.C.) ශරීර ගත වූ විට නිකොටින් මෙන් ඉක්මනින් ශරීරයෙන් ඉවත් නොවන අතර මේද හා මස්තිස්ක පටල වල තැන්පත් වී ඉතා සෙමින් බැහැර වේ.

කංසා මතට හුරු වූවෙකු ඒ පුරුද්ද නැවතූ විට ඔහුගේ රුධිරයේ ඇති (T.H.C.) ප්‍රමාණය අඩු වෙත්ම ශරීරගත(T.H.C.) ගලාවිත් ඒ අඩුව පිරිමසාලයි. මේ තත්වය නිසා පුරුද්දක් අත්හැරීම නිසා හටගන්නා රෝග ලක්ෂණ කෙලින්ම ඔහු තුල පහළ නොවේ. (T.H.C.) මි. ග්‍රෑම් 5 ක් ශරීර ගත වූ අයෙකුගේ ශරීරයේ සතියක් යනතුරු 40% ද සති 7 ක් යනතුරු 30%ක් ද ඉවත් නොවී රැඳී පවතී. මේ තත්වය නිසා කන්සා පාවිච්චි කරන්නෙකුට වැඩි අපහසුවකින් තොරව සති කීපයක් කන්සා පාවිච්චිය නවතා සිටිය හැක.

සිගරට් දුමට වඩා පෙනහළු වලට හා උගුරේ පටක වලට කන්සා දුම හානිකර අතර තදින් ඉරීමත් වැඩි වේලා පෙනහළු තුල රඳවා ගැනීමත්, නිසා මේ තත්වය ඇති වේ. කන්සා මගින් රෝග වලට ඔරොත්තු දීමේ ශක්තියට හා මුලික සෛල ක්‍රියාකාරීත්වයට බාධක පැමිනේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව වෛද්‍ය උපදෙස් මතඖෂධීය වශයෙන් සකස් කර ඇති සංයෝගයන් භාවිතයෙන් ප්‍රබල වාජීකරණ ඖෂධයක් ලෙස යොදාගනු ලබන අතර මෙමගින් ශුක්‍රානු ශක්තිමත් කරන බව ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ දක්වා ඇත.

මුත්‍රා ප්‍රමාණය අධික කරන අතර ගර්භාෂය හකුළුවයි. මෙම කන්සා වර්මයේ ආලේපයෙන් සංවේග දැනීම අඩාල වන අතර සම පුපුරු ගැසීම ඇති කරයි.

අර්ශස්, ගුද රෝග සඳහා බාහිර වශයෙන් ආලේපයට, සිරුරේ තුවාලයක් හා රුධිර වහනය වැලැක්වීමට ද යොදා ගන්නා අතර අධික හිස රුදාවට වේදනා නාශකයක් වශයෙන් නිද්‍රාජනක ඖෂධයක් වශයෙන් හා ගැස්ම ඇති කරන රෝග වලදී (අපතානක ධනුස්ථම්බ) ප්‍රයෝජනයට ගැනේ. විශේෂයෙන් මුත්‍රා නොයන අවස්ථාවේදී හා අතීසාර රෝග වලදී යොදා ගැනේ.

මෙම කන්සා පිළිබඳ බටහිර රටවල විවිධ පර්යේෂණ කෙරෙමින් පවතින අතර දේශීය වෛද්‍ය ක්‍රමයේදී මෙම පැළෑටිය පිළිබඳ පර්යේෂණාත්මක හැදෑරීම කාලෝචිත වේ. එමගින් මෙහි ඇති ප්‍රබල ඖෂධීය ගුණයන්ගෙන් ලොව වැසියන්ගේ සුවසෙත පිණිස ඉදිරියට ඇති වෙමින් පවතින භයානක රෝග සඳහා වටිනා ඖෂධ නිපදවිය හැකි අතර ත්‍රෛලෝක්‍ය විජය වශයෙන් එයට දී ඇති නාමයෙහි වටිනාකම ලොවට පෙන්විය හැක.

ආයුර්වේද සමීක්ෂාව ඇසුරෙනි. (1999)

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

Scroll to Top