අංකෙන්ද

BOTANICAL NAME – Acronychia pedunculata (L.) Miq..
FAMILY – RUTACEAE
පොදුයි හළ නම – අංකෙන්ද
ඉංග්‍රීසි නාමය – Claw flowered laurel (Laka wood)
දෙමළ නාමය – මුත්තයිනාරි කමුක්කානි
වෙනත් නම් – Bai bai, Buoibong, Cavi, Chai dai, Cut sat (China)
සංස්කෘත නාමය – ගම්බාදක්. මෙන්තුවා, කෙමිනියන්

පර්යාය නාම :-
හිංදි හෝ සංස්කෘත පර්යාය නාම අප්‍රකටය.
සිංහල පර්යාය – අඹගෙඳි, ලුනං ගෙඳි, හඟුගෙදී

(කාව්‍යශේඛරය. ගිරා සන්දේශය වැනි පැරණි පොත් වල සඳහන් වේ). එම ග්‍රන්ථ සඳහා ව්‍යාඛ්‍යාවන් ලියූ අය ඒ ” අඹගෙදී ” සඳ හා අංකෙන්ද යන අරුත් දී ඇත.

ලංකා සංස්කෘතයෙහි ” ආමුගන්ධිකා ” යයි යෙදී ඇත. අමුකහ යනු ආමු ගන්ධිහරිද්‍රාය යි යොදාගෙන තිබෙන අයුරුද මෙහි ලා සසඳා බැලිය යුතුය. ලුණංගෙඳි යන්න ලුණ අංගෙන්ද වර්ගය – Evodia roxburghiam Benth විය හැකිය.

කුලය:- ජම්බීර කුලය

ප්‍රගේද :-

  1. අංකෙන්ද
  2. ලුණු අංකෙන්ද

මුහුදු මට්ටමේ සිට අඩි 5000 දක්වා උස් තෙත් ප්‍රදේශ වල හොඳින් වැවේ. මීටර් 6-9 දක්වා උස කුඩා ගසකි. සරල පත්‍ර එකිනෙකට විරුද්ධව හෝ මාරු වෙන් මාරුවට සම්බන්ධව පිහිටයි. සෙ.මී. 7-12 පමණ දිගයි. කොළවල සුගන්ධ වාෂ්පශීලී පදාර්ථයක් ද අන්තර්ගතය. පත්‍ර දිලිසෙන සුළු තද කොළ පාටකින් යුක්තයි. පත්‍ර නටුව සෙ. මී. 1.5 දිගය. ගසේ පොත්ත ලා කොළ පාටින් යුත් අළු පාටට හුරුයි. සිනිඳුයි. පෙබරවාරි – අප්‍රේල් අතර මල් හටගනී. මල් ලා කහ පාටට හුරු කොළ පාටයි. තද සුවඳක් ඇත. සෙ.මි. 1.8 ක් පමණ දිගය පෙති 04 ක් සහිත පුෂ්ප කෝෂ පත්‍ර 4 ක් යුක්තය. බද්ධ වූ මණිපත්‍ර හතරකි. ගෙඩි ගෝලාකාරයි. කාමර 4 ට බෙදී ඇත. තදය. ඩිම්බ සහිත ග්‍රන්ථි බිත්ති සේ පිහිටා ඇත. ගෙඩි ඉදුණු විට කළු පාටයි.

අතුවලින් බෝ කළ හැකිය.

රස ගුණ

රස – තික්ත, කෂාය. අම්ල
ගුණ – තීක්ෂණ, රූක්ෂ
වීර්යය – උෂ්ණ
විපාක – කටු

ව්‍යවහාර අංග – කොළ, පොතු, මුල්, මුලේ පොතු, ඇට

දෝෂ කර්ම වශයෙන් වාත, කඵ හර ද්‍රව්‍යයකි. බාහිර වශයෙන් ශෝථහර, වීම්ලාපන හා අභ්‍යන්තර වශයෙන් වාතානුලෝමන ද අන්තර් විද්‍රධිහර හා රක්තශාමක ද වේ.

දෝෂ ප්‍රයෝග වශයෙන් වාත. කළු, රක්ත ජනිත රෝගයන්හි යොදනු ලැබේ.

අභිඝාත හෝ තැළීමක් නිසා ඇති වූ වණ ශෝථයේ දී අංකෙන්ද කොළ, පොතු, මැල්ලුම ප්‍රශස්තය. උල්. කටු වැනි බාහිර යමක් ශරීරයට ඇතුළු ව කලක් පැවත එම ස්ථානයේ පසුකාලීනව ඇති වන ගෙඩි (අන්තඃශල්‍ය නිර්හරණය) සඳහා ද මෙම මැල්ලුම බැඳීමේ දී ගෙඩිය පිපිරි. එම ශල්‍යය බැහැරට පැමිණෙනු ඇත. ඒ ද්‍රව්‍යයෙන්ම අඹරා පත්තු පදමට කකාරා සාදා ගත් ලේපය ද එම ඵලය ලබා දෙයි.

දේශීය කැඩුම් බිඳුම් වෙදකමෙ ගැනෙන ද්‍රව්‍යයන් අතරින් ද ප්‍රධාන ස්ථානයක් ගන්නා අංකෙන් දවල අස්ථිසන්ධානය කිරීමේ ගුණයක් ඇති බව හග්න වෛද්‍ය වරු පවසති. මේ නිසා ඇද වූ අස්ථි දිග හැරීමේ දී මුලින්ම අංකෙන්ද අඩංගු මැල්ලුම් පත්තු බැඳීම අනු දැන ඇත. අස්ථි සන්ධාන ගුණය ද අංකෙන්දවල විශේෂත්වයකි. එසේම කැඩුම් බිඳුම් තැලීම් වලදී අංකෙන්ද කොළ කැඳ ඉතා ප්‍රශස්තය.

සංරක්ෂණ විධි –

අංකෙන්ද, සුලභ නොවන ප්‍රදේශ වල කැඩුම් බිඳුම වෛද්‍ය වරුන් එහි ඇති අඹ සුවඳට හානියක් නොවන වන සේ මුල්, පොතු, කොළ වියලා සුළං නොවදින සේ තබාගත යුතුය.

මාත්‍රාව –

කොළ, පොතු, මුල්, මුලේ පොතු, ඇට ව්‍යවහාර ද්‍රව්‍යයේ අවශ්‍යතාව අනුව මාත්‍රාව වෙනස් වේ.

විශේෂතා

ඖෂධ සඳහා අමුවෙන්ම ගැනීම ප්‍රශස්ත බව ආයුර්වේද ග්‍රන්ථගත වට්ටෝරු දෙස බැලීමෙන් පෙනේ. යෝග යන්හි අංකෙන්ද යොදා ඇත්තේ අමුවෙන් ගන්නා ආකාර යට මිස කෂාය යෝගයන් සඳහා නොවන බැවිනි. විය ළෙන විට අඹ ගද ඉවත් වෙයි.

යෝග සංග්‍රහ –

වටී. වුර්ණ, තෛල ආදි වශයෙන්.

රක්ත ශොධක, වුණ රෝපණ, විමලාපන, දාරණ, පීඩන භග්න යෝග සහ විවිධ සංස්කරණ යොදන අවස්ථා ව්‍රණ ශොථ. විද්‍රයි. ළදරුවන්ගේ රතගාය.

වෙනත් ප්‍රයෝජන

ඖෂධීය ප්‍රයෝගයන්ට අමතරව අංකෙන්ද පොතු. රා මදින්නන් විසින් හකුරු සෑදීම පිණිස යොදා ගන්නා මීරා පැසීම වලකා ගැනීමේ උපක්‍රමයක් ලෙස මී රා වලට මුසු කරයි.

විවිධය කරණ

  1. අංකෙන්ද තෛලය :-

අංකෙන්ද කොළ, පොතු, හා මුල් සමව ගෙන පොල් සමඟ කොටා යුෂ මිරිකා අංකෙන්ද මුලේ පොතු චුර්ණය කල්ක වශයෙන් යොදා තෛල පාකයට ගනු ලැබේ. මේ තෛලය අන්තර් විද්‍රධි අන්ත්‍ර ශුල. විද්‍රධි ආදියෙහි අභ්‍යන්තර පාන හා බාහිර ආලේප වශයෙන් යොදා ගනී.

II. රත තෛලය :-

ආකන්ද කොළ පොතු මදටිය කොළ පොතු මුරුවා කොළ

මේවා සම භාගව ගෙන තැඹිලි පොල් සමඟ කොටා මිරිකා ලිප තබා කකාරා සියඹලා ඇට මිටක් බැද වුර්ණ කොට තෙලට යොදා මෘදු පාකයට බා පෙරා ගන් නේය.

මෙම තෙල අභ්‍යයංගයට හා පානයට සුදුසුයි. දරුණු වූ රත ගායේ දී රත බිබිළි ඇති විට කෙසෙල් කොලයක් මේ තෙල් හා එහි ළදරුවා නිදි කළ යුතුය.

III. අංකෙන්ද රොටිය

ආලේපය පිණිස යොදා ගනී. පුළුස්සන ලද තිරිවාණා ගල් සිහින්ව වුර්ණ කර සාදාගත් පිටි හීනටි හාල් පිටි අංකෙන්ද කොළ යුෂයෙන් අඹරා රතගෙඩිවල ආලේප කරන්න.

IV. රත කල්කය

අංකෙන්ද කොළ පොතු

මදටිය කොළ පොතු

ලුණුවරණ කොල පොතු

ගංසූරිය කොළ පොතු

මේ ද්‍රව්‍යයන්හි යුෂ පත බැගින් ගෙන ඊට

දෙදුරු
ත්‍රීවර්ග
වළඟසාල්
සවිඳලුණු
ඉඟුරු
උලුහාල්
අසමෝදගම
අබිං
කෙළිඳසාල්
සීනක්කාරං
ගම්මිරිස්
පෙරුම්කායම්
අබිං
තිපල්
තුරිසි ( විස හැර)
අබ
සතකුප්ප
සුදුලුනු
වදකහ

මේවා කලඳ බැගින් වුර්ණ කොට අඹරා ඉහත සඳහන් යුෂ හා සංයෝග කොට මඳගින්නෙන් ඝන වනතුරු කකාරා ගන්න.

මෙය බාහිර අභ්‍යන්තර ලේ ගෙඩි සඳහා යොදාගත හැකිය.

V. තැළුමට

අංකෙන්ද කොළ
එරබදු කොළ පොතු
මේවා කොටා මිරිකා
සියඹලා කොළ පොතු
කොහොඹ කොළ
පෙති තෝර කොළ
යුෂ ගෙන ඊට
වල් ඉඟුරු
පෙරුම්කායම්
අමුකහ
තිත්ත අබිං
සිවංගුරු
ගම්මිරිස්
තිප්පිලි
අබ
වදකහ
උලුහාල්
වියලි ඉඟුරු
මේවා ඇඹුල් දොඩම් වලින් අඹරා දිය කර කැකුළු හාල් මිටක් අඹරා දමා කකාරා ගානු.

VI. ගෙඩි ඉහිරීමට පත්තුවක්

නික පොතු
රුක් අත්තන පොතු
ගෙරි පස්
පරණ වලංකටු
ගඩොල් කුඩු
අංකෙන්ද පොතු
වියන් දුඹුළු
ඇඹුල් දොඩම් ඇට
කුඹුරු ඇට මද
පුස් ඇට මද
බේත් එඬරු ඇට මද
මේවා වෙන වෙනම රත් කර ඇඹුල් දොඩම් ඉස්මෙන් අඹරා මී පැණියෙන් අනා භාන්න.

VII. නීල්‍යාදි තෛලය

අංකෙන්ද කොළ පොතු ප්‍රධාන ද්‍රව්‍ය වශයෙන් ගෙන සාදන තෙලකි.

ආශ්‍රිත ග්‍රන්ථ

ඔසුවග නාමාවලිය

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top