ඉද්ද

BOTANICAL NAME – Walidda antidysenterica (L.) M. Pichon.

FAMILY – APOCYNACEAE

පොදු සිංහල නම් – ඉද්ද, වැල් ඉද්ද, යොහොඹුලතා, මල්ලිකා

පර්යාය නාම

ඉද්ද වැල – වැලක් මෙන් හැදෙන බැවින්

මලගිය වැල – පොත්තේ පැහැය අනුව

මාලතී

සොහොඹු වැල් – සංස්කෘත භාෂාවෙන් බිඳී ආ වචනයකි.

යොහොඹුලතා – සංස්කෘත භාෂාවෙන් බිඳී ආ වචනයකි.

සුදු ඉද්ද – සුදු ඉද්ද මල් සුදුපාට බැවින්

වල් ඉද්ද – කැළෑ ආශ්‍රිතව වැඩෙන නිසා.

කුලය – කූටජ

කූටජ, කිරිවල්ලා, ඒකාවේරිය, රුක් අත්තන, සුදු ඉද්ද, එකම කුලයේ උප කුලවලට අයත් පැලෑටි වේ.

සාමාන්‍ය විස්තර

මෙම පැලය ඈත අතීතයේ සිටම ගෙවල් අසල වවා ගන්නා ලද පැලයකි. පඳුරු ලෙස හැදෙන මෙහි සිහින් අතු ඉහළට විහිදී යයි.

කඳ

ශක්තිමත් කඳේ වැඩීම අඩු බැවින් වැලක ලක්ෂණ ඇත. කඳේ පොත්ත ලපටි ප්‍රදේශ දුඹුරු පැහැය සහ ඉතා මේරූ කොටස් අළු පැහැය හෝ සුදු පැහැය ඇත. ඉතා සෙමින් වැඩෙන පැලෑටියකි.

පත්‍ර

ආයතලන්සාකාරය. සම්පක්ෂය. අඩි 10 – 12 පමණ උසට වැඩෙන මෙම පැලයේ අතුවල මාංසලමය පත්‍ර යුගල බැගින් සමාන්තරව පිහිටා ඇත. කොළ අතර අඟල් 2 ක් පමණ දුර ප්‍රමාණයක් ඇත. කොළයක දිග අඟල් 2 – 4 පමණ වේ. පළල 1/2 – 1 පමණ වේ. විවිධ ප්‍රමාණ කොළ එකම අත්තක දක්නට ඇත.

මල්

සුදු පාටය. පෙති 5 කින් යුක්ත මලකි. පෙත්තක දිග අඟල් 1/2 ක් පමණ වේ. මල ඇතුලතින් කුඩා රේණු කිහිපයක් ඇත. මුහුදු බඩ ප්‍රදේශ වල හොඳින් වැවේ. අධික වියලි බව හා අතිශීත බව ගහේ වැඩීමට නුසුදුසු පරිසර වේ. ගෙවල් අසල මෙම පැලය සිටුවා ගනු ලබන්නේ මල් ලබා ගැනීමට විනා ඖෂධ සඳහා ම නොවේ. බොහෝ දෙනා මෙම ශාකය ඖෂධ සඳහා යොදා ගන්නා බව නොදනිති.

පැළෑටි ගුණ විස්තර

රස – තික්ත, කෂාය රස

ගුණ – ලඝු

වීර්ය – ශීත

විපාක – කටු විපාක

ප්‍රභාව – කඵ නාශකයි

මාත්‍රාව

ඒකීය ද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීම අල්පය.

ප්‍රයෝග අංග

මුල්, පොතු, කොළ, මුලේ පොතු හා මල්

විශේෂතා

මෙම පැලය කළු නාශන, විෂබීජ හරණ ගුණ ඇත.

යෝග

ආලේප, ප්‍රලේප, සඳහා වැඩිපුර ප්‍රයෝජනයට ගනී. පොතු අඹරා ගැනීමෙන් සකස්කර ගනී. ආලේප උගුරේ සෙම්ගෙඩි සඳහා ආලේප කරයි. විෂ නාශනය සඳහා ද යොදා ගනී.

1 ඉද්ද මල්

තිත්ත රස යි. සෙම නාශකයි. ජරාව නසාලයි. (මල්ලිකා කළු ජිත් තිත්තා – ජරාස්තම්භන රංජනී)

2 උගුරේ ගෙඩි වලට සහ උගුර රිදෙනවාට

සිද්ධිඟුරු
වම්මුතු
තිප්පිලි
කොට්ටන්
මුරුතලා කොළ
රත්නිටුල්
කසා
අගිල්
කලාඳුරු
වලඟසාල්
සිවිය මුල්
අසමොදගන්
වල් ඉද්ද කොළ
කොල්ලං කොළ
සූදුරු
නාමල් රේණු

මෙකී බේත් වේලා වුර්ණ කොට රෙද්දෙන් පෙරාගෙන මී පැණියෙන් අනා ගෙන මී ඉටි මඳක් එක්කොට ඇඟිල්ලෙන් දත් මුල මදිච්චි කරනු.
(තල්පතේ පිළියම් 111, 197)

ඉඟුරු
තිප්පිලි මුල්
කසා
තලා කොළ
සිවිය
කළුදුරු
සුදුරු
කලාඳුරු අල
කොට්ටං
වලහසාල්
අගිල්
රත්නිටුල්
අසමෝදගම්
වල් ඉද්ද
නාමල් රේණු

මේවා චූර්ණ කර රෙද්දෙන් පෙරා මදක් ඉටිත් එක්ක දතේ, දිවේ. තොලේ රෝග වලට එලනු.
(ත. පි. 111, 202)

3 දිව කළු වීම, රස දිව ඉදිමීම

වල් ඉද්ද, මුල්, පොතු තල තෙලෙන් අඹරා රෙදි රදා දිවේ තබනු.
(තල්පතේ පිළියම් 111, 205)

4 උගුරේ හිර ඇරෙන්ඩ

කොසඹ මුල්
බෙලි මුල්
කුඹුරු මුල්
නිකමුල් පොතු
ඉද්ද මුල්
කුරුඳු මුල්
කුඩු මිරිස් මුල්
මීට මීට ගෙන ඊට,

දෙදුරු
වළඟසාල්
අමුක්කරා
සුදුළුනු
සතකුප්ප
කොට්ටං
ඉඟුරු
තිප්පිලි
මනෝසීල
වගපුල්
අසමෝදගම්
අතිවිඩයම්
අක්‍රපට්ටා
වදකහ
ත්‍රිවර්ග
කටුකරෝසන
තිපල්
පෙරුංකායම්
කොත්තමල්ලි
සනායං (සන්නිනායම්)
සුදුළූණු
වසාවාසි
වැල්මී
මිරිස්
කරාබු
දේවදුරු

මෙකී දේ සමව ගෙන පලමු කී මුල්වල පොතු එකට අඹරා දෙසිගෙඩි පමණ ගුලිකර තබා.

එඬරු තෙල්
තල තෙල්
මී තෙල්

පොල් බෑයක් පමණ පුරා එකක් මැන මෙම තෙලට පළමු ඇඹරූ කඩසරක්කු ගුලි දියකර තබා මද ගින්නේ කකාරා පාන්කඩ අවුලවා තෙල් පදං බලා කථා නො කර බා පෙරා තිබා උගුරෙ අල්ලන නොයෙක් ලෙඩට බොන්ට දෙනු. පුථං රදා හක්කේ තබා ඉඩ දෙනු. අනුපුට්ටුවටත් හොඳයි. කන් කැක්කුමට ද යක් අඩස්සියට බොන්නට දෙනු.
(තල්පතේ පිළියම් 111, 206)

5 උගුරේ විසාදි වලට

දෙසිමල්
පෙනෙල ගෙඩි
මී මුරුවට
පල්මානික්කන්
කුඩු මිරිස් මුල්
ඉද්ද මුල්
ඉඟුරු
දොඩම්පනා මුල්
මිරිස්
මුණමල් ඇට

එක විතර ගෙන,

ජයපාල ඇට
බටුකර
සස්සඳ මුල්
හිඟුරු පට

ඉස්මෙන් අඹරා ඉඹුල් ඇට පමණ ගුලිකර වේලා හිඟුරුපට ඉස්මෙන් දෙනු. පොල් කිරෙන් දෙනු. ඉඟුරු ඉස්මෙන් දෙනු. උගුරේ නොයෙකුත් විසාදි වලට දෙනු. හක්කේ තබා ඉඳිනු. මී තෙලෙන් ගුලි අඹරා බෙල්ලේ ගානූ. ඒ පිට ලබු කොළ ඵලා දොඩම් ගෙඩියක් රත්කර තවනු. ඇකන්ෂ විසාදි උගුරේ ඇසිරි එන සියළු රෝග නසා අත්දුටුවයි.

(තල්පතේ පිළියම් 111, 231)

ආශ්‍රිත ග්‍රන්ථ

  1. දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය
  2. ආයුර්වේද ඖෂධ සංග්‍රහය
  3. ද්‍රව්‍ය ගුණ දර්පණය – දේවිකා ගුණසේන
  4. තල්පතේ පිළියම් 2,3
  5. ප්‍රවීන වෛද්‍යවරුන්

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top