BOTANICLE NAME – Cassia fistula L.
FAMILY – LEGUMINOSAE
පොදු සිංහල නම – ඇහැළ ඇසළ – ආෂාධික : බක්මහේ හට ගන්නා මල් ඇසළ මසේ අවසන් වන හෙයිනි).
ඉංග්‍රීසි නාම – Indian laburnum, Purging cassia
දෙමළ නාම – කොන්නෙයි, තිරුක්කොන්තායි
හිංදි නාමය – අමල්කාස
බෙංගාල නාමය – සෝනාලු. සෝදාල්
සංස්කෘත නාමය – ආරග්වධ (හාත්පසින් ලෙඩ නසන හෙයිනි.) ආරග්වධාදි ගණය යන්න සිංහල පොත් වල දැක්වෙන්නේ එරහැන්ද ආදි ගණ යන නමිනි.
පර්යාය නාම
ගම්පාක – (යහපත මුහුකුරු වන හෙයිනි)
සුර්වර්ණ භූෂණ – (රන්වන් මල් වැල්වලින් සැරසී සිටින හෙයිනි)
ස්වර්ණ පුෂ්ප – රන්වන් මල් ඇති හෙයිනි)
සුර්වර්ණක
දීර්ඝඵල – (දිගැටි කරල් ඇති හෙයිනි)
ආරෙචක – (මල පහ කරවන හෙයිනි)
ව්‍යාධි ඝාත – (සාමාන්‍යයෙන් හැම ලෙඩකට ම එරෙහි ව ක්‍රියා කරන හෙයිනි)
කෘතමාල – (කහපාට මල් වලින් බබළන ගස)
චතුරංගුල – ( කාන්යකුබීජ දේශයේ ඇසළ කරල් වල අඟල් සතරින් සතරට පුරුක් පිහිටා තිබෙන හෙයිනි)
ගිරිමාල – (මල්මාලා ඇති හෙයිනි)
කිරමාල – විසුරුවන මල්මාලා ඇති හෙයිනි)
කුලය – ඇසළ
පදාර්ථ
රස – මධුර, තිත්ත
ගුණ – ගුරු, ස්නිග්ධ හා මෘදු
විර්ය – ශීත
විපාක – මධුර
දෝෂයන්ට අනුව මධුර ස්නිග්ධ නිසා වාතය, ශීත නිසා පිතත්, ශමනය වන අතර, රේචන ගුණය නිසා කෝෂ්ඨගත පිතත්, සෙමත් ශෝධනය වී පිට වෙයි. බාහිරින් ශෝථහර හා වේදනා ස්ථාපනය ද වර්ණකාරක ද කුෂ්ඨග්න ද වේ. වුණ ශෝථ. ග්‍රන්ථි ශෝථ, වාතරක්ත ආමවාත, සන්ධිවාත හා ශෝථ වේදනා සහිත රෝග යන්හිදී ද කිටීහ. කුෂ්ඨ, කණ්ඩු, රෝග යන අවස්ථාවල දී ද කොළ අඹරා තනාගත් පත්‍ර කල්කය මෙන් ම ඵල මජ්ජාව සහිත ආලේප හා උද්වර්තන ද උපයෝගි කරගනු ලැබේ.
ආභ්යන්තරව ඇසළ ගසේ පොතු මුල්, මුලේ මුලේ පොතු, කොළ මල් සහ කරල්. කරල් පැණි යන මේවා ඖෂධ සඳහා උපයෝගී කරගනු ලැබේ. ඇසළ පැණි ලබා ගැනීම ඇසළ කරලින් සිදු වන නිසා එක් කාලයක දී එය කළ යුතුය. හොඳින් මේරූ ඇසළ කරල් ගෙන තෙත රහිත වැලි ගොඩකට මැදි කොට තබා දින 07 කින් පසු ඉවතට ගෙන අව්වේ හොඳින් වේලිය යුතු යි. වෙළුණාට පසු කැබලි කොට දඬු අඩුවක හෝ යන්ත්‍රයක බහා මිරිකා හෝ කරලේ මැද කොටස සුරා වෙන් කරගෙන. හිම හෝ ඵාණ්ට කෂාය ක්‍රමයට ජලය යොදා උණුකර පැණි ලබාගත හැකිය. තවත් ක්‍රමයකට හොඳින් පැසුණු ඇසළ කරල් රාත්‍රියෙක මඳ උෂ්ණය ඇති ජලයෙහි බහා තබා උදෑසන රැගෙන යන්ත්‍රයෙන් මිරිකා, එම ස්වරසය අව්වේ තබා භානුපාත ක්‍රමයෙන් කකාරා ගත යුතු ය.
ඇසළ පැණි ඇත්තේ ඇටය වසා ඇති මදුළු වල ය. විරේචන ගුණයෙන් යුතු මෙම පැණි වයස අවුරුදු 01 සිට 12 දක්වා වූ ළමුන්ගේ විරේචන කාර්යය සඳහා ඉතා සුදුසුය. විශේෂයෙන් සර්ප දෂ්ට රෝගීන්ට හා රත්පිත් රෝගීන්ට අනු ලෝමන ද්‍රව්‍යයක් වශයෙන් ඒකීය ව හෝ ප්රතිවාප වශයෙන් හෝ යෙදිය හැකි ය. දඩි උෂ්ණත්වයේ දී ඇසළ පැණියේ ඇති මෙම රේවන ශක්තිය හීන වේ.
නොමේරූ ඇසළ කොළ මැල්ලුම:
කිරිපණු රෝගය සඳහා මෙම මැල්ලුම ආහාර වශයෙන් ඉතා යෝග්‍යය. එහි ඇති විරේචන ගුණය නිසා සියළුම කිරිපණුවෝ මත් වී මල සමඟ පිටවෙත්. එහෙත් මෙය ආමාශයේ ඇති තාක් (සේන කොළ වලින් මෙන්) උදර වේදනා ඇති වන නිසා, බොහෝ අය භාවිතයට අකමැති ය. එහෙත් ප්රත්යක්ෂ ඖෂධයකි.
කොළ අමුකහ සමඟ අඹරා කිටහ රෝගීන්ගේ සමෙ ගා ඇතිල්ලීමෙන් (උද්වතන ය කිරීමෙන්) සමේ දිරු කොටස් හා පොතු ඉවත් වී රළු ගතිය නැති වී යයි. පොතු හා මුල් කෂාය සඳහා උපයෝගි ය. පනය කිරීම් විසින් වාතහර ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි. මුත්‍ර ව්‍යුහයේ දී ශීත නිසා එම කෂාය නාධි ව්‍යුහයේ වේදනා ස්ථා මුත්රාජනකය. අන්න පවන ව්‍යුහයෙහි යකෘත් උත්තේජන ද අනුලෝමන ද සංසුනද වේ. මෘදු විරෙචන ද්‍රව්‍යයන් අතුරින් ඇසළ ප්‍රධානය. රත්ත සංවහන ව්‍යුහයෙහි රක්ත ශෝධන නිසා හෘදයට හිත කරය. ශොථ, කාමලා යන රෝග අවස්ථාවන් සඳහා ද යෝග්‍යය. ප්‍රයෝග වශයෙන් ඒ නිසා රත්පිත්, වාතරක්ත, විවිධ රෝග සඳහා පහත සඳහන් පරිදි යෙදේ.
ආමයට – ඇහැළ කොළ අබ කෙලින් බැඳ රෑ බත් සමඟ කෑම ද
ජ්වරයට – කිරි සමඟ හෝ රට මිදි යුෂ සමඟ හෝ යෙදීම ද,
පිත්ත ජ්වරයට – රට මිදී (මුද්‍රප්පලම්) හා ඇසළ ඇතුලත් යෝග යෙදීම ද,
රක්ත පිත්තයට – ඇසළ පැණියට සීනි හා අලුත් මී පැණි යෙදීම ද,
කාමලාවට – උක්. කිරිබදු, නෙල්ලි යන මේවායේ ඉස්ම සමග ඇසළ සුනු යෙදීම ද,
රාජයක්ෂමයට – සීනි මීපැණි ගිතෙල් සමඟ ඇසළ සුනු දී විරේචන කැරවීම ද,
හාරිද්රමේහයට – ඇසළ කෂාය යෙදීම ද,
පිත්තෝදරයට – ඇසළ කෂාය යෙදීම ද,
කුෂ්ඨයට
(1) ඇසළ කොළ අඹරා ගෑම ද,
(II) ඇසළ කෂාය කල්ක දෙක යොදා ගෙන පාක විසින් සිදු කළ සෘතය කිහිරි කසාය සමඟ බිම ද,
දද ආදියට – ඇසළ කොළ කාඩියෙන් අඹරා ගෑම ද,
විසර්පයට – අමු ඇහැළ කොළ අඹරා ගෑම ද,
සද්යො වුණයට – ඇහැළ කොළ තනකිරෙන් අඹරා ගෑම ද,
වණයට – ප්‍රක්ෂාලනය (සේදීම) සඳහා ඇසළ කොළ, දෑසමන් න්කොළ යන දෙවගය යෙදීම ද,
ගංඩමාලයට – ඇහැළ මුලක් උදුරා එකෙණෙහිම හාල්පානුයෙන් අඹරා නශ්‍ය ආලේප ක්‍රම දෙක ඇසුරු කර යෙදීම ද,
මුඛ රෝගයට – ඇහැළපොතු. තුවර ඇට, කයිප්පු, වියළි කහ, වෙණිවැල් ගැට යන මේවා ගිතෙලින් අඹරා ගෑමද.
උපදංශ ක්ෂතයට – අමු ඇහැළ මුල් ඇල් පැනින් අඹරා ගෑම ද නියමිතය.
ආරග්වඩාදි තෛලය, එම කල්කය, එම ලේපය, එම ශීත කෂාය, යෝග යන්හි දක්වා ඇත. පවනේ වියළාගත් ඇහැළ මල් එපමණ වූ ශුද්ධ හෝ සිනි සමභාග අඹරා ගන්නා ලද්දේ අමල්කාස් ගුල්කන්ද නමි. ඇහැළමල් යොදා සාදා ගන්නා මෙම විශේෂ සංස්කරණය ලංකාවේ බහුල ව භාවිත නොවුවන් ඉන්දි යාවේ බහුල ව්යවහරයෙහි යෙදී ඇත. ඇහැළ මල් කිරි කෂාය, මීයන් කෑමෙන් ඇති වු විස අවස්ථා වල දී දෙනු ලැබේ.
දේශීය කැඩුම බිඳුම් වෙදකමේ දී මෙහි කොළ, පොතු මැල්ලුම් වශයෙන් යොදනු ලැබේ.
පොතු හා මුල් අනුලෝමන කර්මය ඇති නිසා, උණ නැසීමට යොදන කෂාය වලට ඇතුළත් කරනු ලැබේ. එහෙත්, මැලේරියා උණටත්, සන්ධිගත වාත රෝග යේ දී ඇතිවන උණට මෙන් ම කල්ගිය පෙණහලු ගත රෝග වලටත් විශේෂ ගුණදායකය. කෘමි, වටපණු, ලප, සන්ධිවාත, ලාදුරු, කුෂ්ඨ යන මේවා සඳහා පොතු අඹරාගත් ලේපය හෝ කොළ ලේපය හෝ යෙදීම ලාභදායකය.
නාම ගුණ –
ආරග්වධෙ දීර්ඝඵලෝ – රාජවෘක්ෂඃ ස්වර්ණකඃ;
ආෂායි කඃ ස්වර්ණ සුමෝ- ‘ද්රිමාලඃ ස්වර්ණ භූෂණඃ:
ආරේවතෝ ව්යාධිඝාතෝ – ව්යාසාතශ්චතුරංගල; ශපාකඃ කිරමාලශ්ව – කෘතමාලශ්ව සම්මතාඃ;
ආරග්වඩස්තු මධුරෝ – ගුරුඃ ශිතෝ නුලෝමනඃ ශුලෝ දාර්වත හෘද්රෝග – ජීවරපිත්තා’ සුවාතජිත්; තඵල සංසනං කුෂ්ඨ – පිත්තා ‘ රුචිකඵාන් හරේත්:-
කෝෂ්ඨ ශුද්ධිකරං පථ්‍යා – යෝජ්යමේතජ්ජවරේ වහම්;
ආශ්රිත ග්රන්ථ –
ප්‍රිය වෘත ශර්මා, ද්‍රව්‍ය ගුණ විඥාණය ආයුර්වේද ඖෂධ සංග්‍රහය II කාණ්ඩය ආයුර්වේද ඖෂධ සංග්‍රහය III කාණ්ඩය ද්‍රව්‍ය විඥානය – දොස්තර ආටිගල මහතා ශ්‍රී ලංකාවේ භාවිත ඖෂධ පැළෑටි – ඩී. එම. ඒ. ජයවීර මහතා. මහෞෂධ නිඝණ්ඩුව (ම.නි.)
සර්වාර්ථ සංග්‍රහය (ස.ස)
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



