ආපසු මදු

BOTANICAL NAME Paederia foetida Linn.

FAMILY – RUBIACEAE

ඉංග්‍රීසි නාමය – Chinese flower plant

පොදු සිංහල නම – රටමදු, ආපසුමදු, ගඳපැහැරණිය. පැහැරණිය

සංස්කෘත නාමය – ගන්ධ ප්‍රසාරණි

පර්යාය නාම

ප්‍රසාරණි – (කොර වූ අවයව දිගාරවන හෙයිනි.)

රාජබලා – (බලය දෙන ද්‍රව්‍යයන් අතර රජා.)

සරණි – (මෙයින් හැකිලීම් දුරව යන හෙයිනි.)

වාරුපර්ණි
ප්‍රතානිකා
ගන්ධභද්‍රා
භද්‍රබලා
ගන්ධාලී
ගන්ධකාදුලී
සරණී

ප්‍රභේද හා තොරතුරු

i . ප්‍රසාරණි ලතා වර්ග තුනක් ඉන්දියාවේ ඇත. එයින් :

උත්තරා පථයේ ආර්යාවර්තයේ – වෙදවරුන් ගන්ධ ප්‍රසාරණී (Paederia foetida Linn.) නමැති වර්ගයද,

ii. රාජස්ථානයේ – මධ්‍ය භාරතයේ – වෙදදුරන් වරා පවුලට අයත් Leptadenia spartium wt Asclepadacea නැමති වර්ගය ද,

iii. දක්ෂිණාපථයේ – කේරලයේ වෙදවරුන් Merremia tridentata (L.) Hall. f. නමැති වර්ගය හා ද්‍රවිධාකාරයේ සෙසු වෙදවරුන් Convolvulus arvensis Linn නමැති වර්ගය ද, සුලභතාව අනුව ප්‍රසාරණී නාමයෙන් ගන්නා බව Ayurvedic Flora Medica – කොට්ටයම් නමැති ග්‍රන්ථය කියයි.

ලංකාවේ ප්‍රභේද දෙකකි.
(i) ගන්ධප්‍රසාරණී යැ.
(ii) ආපසුමදු ය.

මදු යනු මන්ද යි. සතුන් බැඳීමට ගන්නා රැහැන් (යොත්) එයින් කියැවේ. මදු වැල් ඒ සඳහා යොදාගන්නට ඇත. (අග්ගිස්සෙන් ආපසු හැරී බලා ඉදිරියට යන) මදු (වැල්) වර්ගයට ‘ මදු’ නම යෙදුණේ ස්වරූපය අනුවයි. ශාලපර්ණිය වෙනුවට මේ රටේ අස්වැන්න ගන්නාක් මෙන් ගන්ධ ප්‍රසාරණිය වෙනුවට ආපසුමදු ප්‍රතිනිධි වී ඇත.එනමුත් එහි පදාර්ථ විනිශ්චයක් තවමත් සිදු වී නැත. ගන්ධ ප්‍රසාරණිය පළමු වෙන් ම කල්කටාවෙන් ගෙන්වා ගෙන යක්කල සිය විදුහලේ බේත් වත්තේ වවාගත්තේ වික්‍රමාරච්චි රාළහාමි විසිනි. එහෙයින් එයට ‘ වික්‍රම ප්‍රසාරණි යයි අමුතු නමක් ද පිළියෙළ වී ඇත. දැන් එයින් බෝ වූ ප්‍රසාරණි වැල් දිවයිනේ නො එක් තැනැ පැළ වී පැතිරී ඇත. මෙහි විස්තර වනුයේ ඒ (P. F.) ගඳ පැහැරණියයි.

F

වැවී තිබෙන තැන්

හිමාලය කඳු වැටියේ මැදි පෙදෙසේ මෙන්ම නැගෙනහිර පෙදෙසේත් අඩි 5.000 දක්වා උස් වූ බිමේ ද බෙංගාලය, ඇසෑමය හා බටහිර ඉන්දියාව ඇසුරු කළ බිම්වල ද මේ පැහැරැණියා රට ආපසුමදු වැල් සුලභය.

මේ වැල් වෙසෙස තමා අවට තරමක් දුරට අතු පතරින් පැතිරි වැවී තිබෙනු පෙනේ. එහි වැල්දඬු කෘශ ය. තෙල් ගැවාක් බඳු වැ දිලිසෙයි. දිගය, සවිමත් (හයිය) ය. අලුත් අතු ඉති, කෝමලය. පරණ වැලේ මුල් පෙදෙස අඟල් 1 – 1 1/2 තරමට මහත්ය. පත්‍ර අභිමුඛ වැ ඇත. අඟල් 2 – 6 දක්වා දිග යැ. තුඩු සහිත ය. දිග නැට්ටෙකින් යුක්ත යැ. මල දම්පාට දම්පාට ය. ගෙඩිය පැතැලි ය. සිනිඳු ය. තුනී දවටනයක් ඇත. මේ වැලෙන් දුගඳක් නික්මෙයි. වැල ලඟින් යන අයට මේ දුගඳ දැනෙයි. කසායට යොදා කොළ තැබීමේ දී හුමාලයට දුගඳ එක් වී ඉවත් වැ යන්නේ ය. මෙහි පසඟ මැ බෙහෙත් පිණිස ගැනේ. ශරත් ඍතුවේ දී මේ වැල මුලින් උදුරා පවනේ වියළා රැක ගනු ලැබේ.

රසායනික සංඝටනය

මෙහි අප්‍රිය ගන්ධයක් ඇති වාෂ්පශීලී තෛලාංශයෙකි. Alpha Paederine & Beta Paederine & Beta Paederine යන ක්ෂාර තත්ව දෙක ඇත.

කිපදාර්ථ

රස – තික්ත
ගුණ – සර
වීර්ය – උෂ්ණ
විපාක – කටු

කර්ම

වෘෂ්‍ය, සන්ධානකර, විබන්ධහර, ආමවාත, කඵහර, සන්ධි විකෘතිහර, තේජංප්‍රද, බලප්‍රද, ශෝථහර, අර්ශෝග්න, යනාදී කර්ම දක්වයි.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top