අස්වැන්න

BOTANICAL NEME – Alyssicarpus vaginalis DC.

FAMILY – LEGUMINOSAE

පොදු සිංහල නම – අස්වැන්න

ඉංග්‍රීසි නාමය – Alyce clover, One leaved clover. .

දෙමළ නාම – නාමප්පුන්ඩි, පුල්ලාර්දි

සංස්කෘත නාමය – අශ්වපණි (කොළය තුරඟ අඩිය බඳු ය)

*පදාර්ථ ලිවීමේ දී ‘ ශාලපර්ණි – අස්වැන්න යන විසින් ලංකාවේ පොත්වල ලියැවී ඇත. එහෙත් ඉන්දියාවට හඳුන්වා දීම සඳහා ‘ අස්වැන්න – ශාලර්පණි ‘ යන විසින් ලියුව හොත් වරදකි. සකුරු – ශර්කරා විසින් ද, ඉරිවේරිය – භ්‍රීවේර විසින් ද සකුවට නැඟුව හොත් වන වරද ද මේ මැයි.

සරස්වතී නිඝණ්ඩුවෙහි අස්වැන්න පර්යාය ලෙස,

ශාල පර්ණි
ස්ථිරා
සෞම්‍යා
ත්‍රිපර්ණි
ත්‍රිගුහා
දීර්ඝමුලා
ද්‍රවා
විදාරිගන්ධා
සුමති
න්‍යර්පණ්‍ය

යනුවෙන් දක්වා ඇත. මේ සියල්ල අස්වැන්න ප්‍රතිනිධි කොට ඇති මේ රටේ නැති, ශාලපර්ණියට අයත්ය.

මෙහි මුල් කෂාය දාහය නැති කරන මුත්‍ර කාරක ගුණය ඇති කරවන ඖෂධයකි.

සුළු පස්මුලෙහි හා දස මුලේහි එක් උපාදානයකි.

වනවාස නිඝණ්ඩුව වැන්න 7 න් දක්වා ඇත. ඉන් එකකි. අස්වැන්න. එහි විස්තර වන අන්දමට,

තුරඟ පයක් සේ මැයි ඒ කොළ පත
සුනරත් එ ලෙස ම ඒ වැල කොළ ඇත
කටත් සාරවයි කැ කල පොපි යත
අස්වැන්නේ නම දැනගත් සව් සත

ආයුර්වේද මූලික ග්‍රන්ථ වල සඳහන් නොවන අස්වැන්න දේශීය වෙදකමේ දක්නට ඇත. එහෙත් අෂ්ට වර්ගයන්හි සඳහන් වන ශාල පණි නම් ද්‍රව්‍යය සඳහා ප්‍රතිනිධියක් ලෙස අස්වැන්න ඖෂධ සඳහා භාවිතය. ඊට හේතුව ශාලපර්ණි සහ අස්වැන්න එකම උද්භිද කුලයෙහි වීම ය. අස්වැන්න කිරි කෂාය හෘද් රෝගීන්ට විශේෂිත වූ දේශීය කෂාය යෝගයකි. මුත්‍ර කාරක ගුණය හා රක්තශෝධක ගුණය නිසාත් සෙම නැති කරන නිසාත් හෘදය ශාමක වේ. දේශීය වෙදකමේ සුළු තැලීම සඳහා අස්වැන්න මැල්ලුම (අමු කහ, දියලුණු දමා කොටා) මලවා බඳිනු ලැබේ. ඖෂධ සඳහා මුල් සහමුලින් භාවිතයට ගනු ලැබේ. රස යෙන් කෂාය රස. මධුර හා ගුරු ගුණ උෂ්ණ විර්ය ද්‍රව්‍යයකි. සිද්ධ වෛද්‍ය ග්‍රන්ථ වල පේරාමල්ලි නමින් විස්තර වන ශාල පරණි පැලෑටියේ ගුණ වශයෙන් එම ග්‍රන්ථ වල විෂ හර ජර්දිහර උණ (ජීජ්වර) හර, කෘමි නාශක, ධාතු උෂ්ණ හර, ශරීර ශක්තිය ඇති කරන ද්‍රව්‍යයක් සේ දක්වා ඇත. දේශීය අස්වැන්න පැලෑටිය ද බොහෝ දුරට මෙම ගුණ හා එකඟතාවයක් දක්වයි.

ගුණ

අශ්ව ර්පණි පෘථක්පණි දීර්ඝ මුලෝෂ්ණ භූරුහා.
මුත්‍රලා රක්ත දෝෂස්නි – හෘද්‍යකව විනාශනී.
ශාලාපණි ජටාලාභෙ-වාජිපණි ප්‍රදියතේ – සා. සං

යෝග

සුළු පස්මුල් කෂාය, දස මුල් කෂාය, දශමූල අර්ධ දශ මුල, තෛලය, මහා නාරායණ තෛලය. සිද්ධාර්ථ තෛලය ආදියෙහි එක් උපාදානයෙහි අස්වැන්න.

මේ පැලෑටිය ප්‍රයෝජනයට ගනු ලබන්නේ පාචනය වැනි රෝග වලඳි කෂාය සැදීම පිණිසයි. ලංකාවේ විශේෂ වශයෙන් මේ පැලෑටිය යොදනු ලබන්නේ මුත්‍රාශ්මරී රෝගයට ප්‍රතිකාර සඳහා ය. මැලේරියා රෝගයට මේ පැලෑටිය සහමුලින් ගනු ලබයි. මුත්‍ර පද්ධතියේ රෝග සඳහා විශේෂ යි.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top