කිරි දෙන මවුවරුන් ට ගුණ දෙන මොනවා ද මේ අඟුණ?
අඟුණ – වැල් අඟුණ
BOTANICAL NAME – Wattakka volubilis (L.f) Staps.
FAMILY – ASCLEPIADACEAE
පොදු සිංහල නම – කිරි අඟුණ, අඟුණ
දෙමළ නම – කමල්, කුහනන්, කුරිඤ්ඤන්
හින්දි නම – නව්ක්නි
සංස්කෘත නම – සර්ව කිරා
පර්යාය නාම
සර්ව කිරා
හෙමවල්ලි
ස්වරණජීව
මධුමාලතී
හෙමජීවන්තී
හෙමක්ෂීර
ප්රභේද
- තිත්ත අඟුණ
- කිරි අඟුණ
වශයෙන් ප්රභේද දෙකකි
අඟුණ යනු අංකොට යන්නෙන්හි සිංහල රූපයයි. රුක් අඟුණ, වැල් අඟුණ වශයෙන් ප්රධාන ප්රභේද දෙකකි. රුක් අඟුණහි භේද නැත. වැල් අඟුණහි භේද දෙකකි. තිත්ත අඟුණ, කිරි අඟුණ යන විසිනි. නිතර පලාවට ගැනෙන (කීර) අඟුණ – කිරි අඟුණ වුණාද? ක්ෂීරාන්කෝට යන්න කිරි අඟුණ බවට හැරුණා ද යන්න විමැසිය යුතුය.
උතුරු ඉන්දියාවේ හින්දු ජනතාව පලාවට ගාන්න වූ ද එහි වෙදැදුරන් කඵාධික පක්ෂාඝතයේ දී ප්රයෝග කරන්නා වූ ද, ලාබන් ( Dregia volubilis Benth ex. Hook F.) නැමැති ලතා විශේෂය කිරි අඟුණය යි ද කුරිඤ්ඤන් ලතාව මෙයින් බහැරියෙකැයි ද සමහරු කියති. මේවා ගැන විමසිය යුතුය.
තිත්ත අඟුණ ශක්තිමත් ව සෑදෙන වැලකි. කොළයේ ඇති අධික තික්තගතිය නිසා තිත්ත විශේෂණය යෙදී ඇත. ගෙඩි වණ හා කුෂ්ඨ රෝගීන් සඳහා යොදන දේශීය තෙල් වර්ග වල එක් උපාදානයකි. ආහාරයට ගැනීමෙන් රක්ත ශෝධනය හා පිත් ශමනය ද ඇති වේ. විශේෂයෙන් ම ආහාරයට ගැනෙන්නේ කොළය පමණි. පත් අඟුණයයි ද සඳහන් වන්නේ මෙයම ය. ප්රයෝජනයට ගැනෙන්නේ කොළ පමණක් ම නිසා මේ නම යෙදී ඇත. කිරි දෙන මව් වරුන්ගේ ක්ෂීර ශෝධනය බලාපොරොත්තුවෙන් දෙනු ලැබේ. කිරි අඟුණ කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්ධනය සඳහා දෙනු ලබන පලාවකි. එසේ වුවත් විශේෂයෙන් ගර්භනී මව්වරුන් ට ඇති වන මලබද්ධයේ දී එය නැති කිරීම පිණිස ආහාරයට ගනු ලබන පලාවක් ද වේ. කුඩා පඳුරු හා එතරම් ශක්තිමත් නොවූ වැල් ලෙසින් පැතිර යන කිරි අඟුණ තිත්ත නැත. කිරි අඟුණ වල විශේෂ ගුණය විෂ නාශනයයි. පිස්සු බලු විෂට තනිකර රුක් අඟුණ මුල් කෂාය මෙන්මැ කිරි අඟුණ මුල් කෂාය ද ප්රසිද්ධ දේශීය ප්රතිකාරයකි. දළු අනුපාන සඳහා ද යොදා ගනී.
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි.



