උළුහාල්

උළුහාල්

BOTANICAL NAME – Trigonella foenum-graecum L.

FAMILY – LEGUMINOSAE

ENGLISH NAME – Fenugreek

පොදු සිංහල නම් – උළුහාල්, උලාරිසි

දෙමළ නම – වෙන්ඩයම්

හිංදි නම – මෙති

මලයාලි – උල්ලව

බෙංගාලි – බර්මෙරී

සංස්කෘත

මෙති, බහු පරණි, පීක බීජා, ගන්ධ බීජා, දීපනී. ශීත වීර්යය. මෙථිකා, ගාන්ධබීජා

තවද උලා අරිසි යනු ලංකාවේ දෙමළ වහරකි. කාල යනු අරයි යන්නට සමාන අර්ථය ඇති සිංහල වචනයකි. ඒ අනුව උළුහාල් වී ඇති බව පැහැදිලිය.

උළුහාල් ඉන්දියාවේ පංජාබ් කාශ්මීර්, බෙංගාල ආදී පෙදෙස්වල වැවෙන බව සඳහන් වේ. බෝගයක් වශයෙන් නොවැට ද මෙය ලංකාවේද වවාගතහැක. මෙහි සම්පූර්ණ අංගය ද (පංචාංගයම) ඖෂධ පිණිස හා ආහාර පිණිස භාවිතයට ගැනේ.

උළුහාල් ඖෂධීය අගයක් ඇති ආහාර උපයෝගී (කුළුබඩු) ද්‍රව්‍යයකි. ආහාර රසවත් කරන රුචිය වඩන සුවදවත් ද්‍රව්‍යයක් ලෙස උළුහාල් භාවිතයට ගැනේ.

මෙහි ඇති පෝෂණීය ගුණය නිසා ආහාරයේදී ව්‍යංජනයට උළුහාල් මුසු කල විට ඉක්මනින් නරක් වීමට බලයි. ව්‍යංජනයට උළුහාල එක්කරන විට එය බැඳ මුසු කරන්නේ ඒ නිසයි. බැදගත් විට එහි සුවඳවත් බවද රසයද අධිකය.

කටුක තිත්ත රසයෙන් යුක්ත මෙය ගුණයෙන් ලඝු, ස්නිග්ධ, තීක්ෂණ වේ. උෂ්ණ වීර්ය ඇති මෙය කටු විපාකයෙන් යුක්තයි.

දෝෂානුරූප කර්ම – කඵවාත ශාමකද පිත්ත ප්‍රකෝපද වේ.

ව්‍යුහගත කර්ම – බීජ ලේපය මෙන්ම පත්‍ර ලේපය ද ශෝථ හරද දාභශාමක වේ.

නාධි ව්‍යුහයේ – වාතහරද වාතානුලෝමද වේ.

අන්න පවන ව්‍යුහයේ – විබන්ධහරද මෘදු විරේකද අග්නිදී පණද වේ. අරුචි, අග්නිමාන්දය, අජිර්ණද, වමන, ක්‍රිමි රෝග, අර්ශස් වලට යොදයි.

රක්ත සංවහන ව්‍යුහය – රක්ත ගෝධකයි. ශෝථහරයි. උත්තේජකයි.

ස්වසන ව්‍යුහයේ – කඵස්ත සහ කඵනිස්සාරකයි

මුත්‍රණ ව්‍යුහයේ – මධුමේහ නාශකයි

ප්‍රජනණ ව්‍යුහයේ – බලකරද වාෂ්‍යද වාජිකරණද ගර්භාෂය සංකෝචක ද ආර්තව ශොධක ද වේ

ත්වචයේ – කුෂ්ඨෂ්ණයි

තාපක්‍රමය – බීජය, ජවරස්නයි අංකුර සහිත බීජය නිවාරකයි.

සාත්මිකරණ – බල්‍යයි

රසායන උපාදන ලෙස

ඇටවල පොත්තේ ටැනික් ද ඇටවල කශාවන් රංජන පදාර්ථයන්ද දුග්ධ තිත්ත ඝණ තෙලක් ද ඇල්බියුමින් ද අඩංගු වේ.

මාත්‍රාව ලෙස

වර්ණය රක්තිකා 2 1/2 සිට 10 දක්වාද ක්වාථය පලං 1 සිට 2 දක්වාද ඵාඨය පලං 1 සිට 2 දක්වාද වේ.

යෝග ලෙස

ක්වාථ, වුර්ණ, තෛල ආදිය උපාධාන ලෙස යෙදේ.

දේශීය කැඳ සාදන විට පෝෂණිය ගුණය මෙන්ම රසය වැඩිවීම සඳහා උළුහාල් යොදයි.

ජෝන් ආටිගල මැතිතුමාගේ අප්‍රකට ඖෂධ ග්‍රන්ථයේ සඳහන් පරිදි උළුහාල් බැද සුදුළූණු සමග උයා කෑම වාතජ ප්‍රමේහ වලට ඉතා ගුණ දායකය.

ග්‍රහණි රෝග වලට – මේථී මෝදකය ඉතා ගුණදායකය

අන්ඩ වෘද්ධියට – සුදුළූණු උළුහාල් කසාය ඉතා ගුණදායකය.

මාන්දම් රෝගයට – උළුහාල් තෛලය හිසට දැමීම හොඳයි.

මධුමේහ රෝගීන්ට

උළුහාල් චූර්ණය ඉතා ප්‍රශස්ත ගුණ දෙයි. එමෙන්ම උළුහාල් තැම්බු වතුර ගුණදායකයි. මෙහිදී ඇතිවෙන පිපාසයටද මෙම වතුර ගුණයි.

හිස සේදීමට හිස්සොරි වලට අකලට ඉසකෙස් ගැලවී යාමට ආදී හිසකේ රෝග වලට උළුහාල් තම්බා හිස සේදීම හොඳයි. උළුහාල් සමගම දෙහිගැට. අමු නෙල්ලි එකතු කර සේදීම හොඳයි.

උපයෝගි කරගත් ග්‍රන්ථ

ඖෂධ සංග්‍රහය 1 සහ 2

භාව ප්‍රකාශ නිගණ්ඩුව (හින්දි) (අළුත් පිටපත)

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top