ඉකිරිය

BOTANICAL NAME – Hygrophila spinosa And.

FAMILY – ACANTHACEAE

පොදු සිංහල නම – කටු ඉකිරිය

සංස්කෘත නම් – කෝකිලාක්ෂ, ඉක්ෂුර, ඉක්ෂුරක, ඉක්ෂු ගන්ධා

විවිධ භාෂා වලට අනුව ද්‍රව්‍යයේ නාමය :-

දෙමළ – නීරමුල්ලිය, නීරෙමුල්ල, නිර්මල්ලි, තාල්මඛානා (ඉකිරි ඇට වලට යෙදේ)

හින්දි – ගෝකුල කණ්ට, තාල්මඛානා, කෛලය, ගෝක්ෂුර

බෙංගාල – කුලේඛාරා

පර්යාය නාම

අචිජත්‍රා
භික්ෂු
ජත්‍රක
ඉක්ෂුවාලිකා
කාකේක්ෂු
කන්දෙක්ෂු
කෝකිලනයන
ක්ෂුර
ක්ෂුරක
පිච්ඡිල
පිකෙක්ෂාණා
ශ්‍රීගලසාන්ථි
සීසලි
ශ්‍රීන්ඛාලි
ශුක්ල පුෂ්ප
ශූරක
වජු
වජ්‍ර කන්ටක
වජුස්ථී
විරතරු

ප්‍රභේද :–

  1. නිල් පැහැයට හුරු මල් සහිත වර්ගය
  2. සුදු මල් සහිත වර්ගය (දුලබය)

වැවෙන ප්‍රදේශ :-

ඉන්දියාවේ හා ලංකාවේ කුඹුරු, වැව් ආදී ජලාශ්‍රිත ප්‍රදේශයන්හි වැවේ. වියලි කලාපවල වර්ෂා සෘතුවේ වැටී ග්‍රීෂ්ම සෘතුවේ මැරී යයි.

ව්‍යවහාර අංග :-
මුල, පත්‍ර, බීජ, පංචාංගය

උත්පත්ති ස්ථාන :-
ඉන්දියාව හා ලංකාව

කුලය – වාසා

ස්වරූපය:-
අඩි 1- 1 1/2 දක්වා උසට වැවේ. මෘදු කඳකින් යුක්තය. කඳේ මුල සිට අග්‍රය තෙක් කඳ වටා පත්‍ර හටගනී. පත්‍ර හටගන්නා ස්ථානයෙන් දිග තියුණු කටු හටගනී. පත්‍ර අඟල් 2 ක් පමණ දිග වන අතර සිහින්ය. තීක්ෂණාග්‍රයි. පැලෑටි අග්‍රය හා කඳේ පත්‍ර හටගන්නා ස්ථානවල පුෂ්ප ඇති වේ. පුෂ්ප නිල්පාටය.

පැලෑටි ගුණ විස්තර :-
රස – මධුර, අම්ල, තික්ත.

වීර්යය – ශීත

විපාක – මධුර

විශිෂ්ඨත්වය :-
මුල මෙන්ම ඇටද විශේෂ මුත්‍රල ප්‍රභාවයෙන් යුතුය.

කර්ම
දෝෂානුරූප කම :- වාත, පිත්ත, ශාමකයි.

ව්‍යුහගත කර්ම:-
නාඩි ව්‍යුහයෙහි :- ඇට නාඩි බල්‍යයි
අන්න පවන ව්‍යුහයෙහි :- අනුලෝමනයි.
රක්ත සංවහන ව්‍යුහයෙහි :- ශෝණිත ස්ථාපනයි.
ප්‍රජනන ව්‍යුහයෙහි :- ඇට වෘෂ්‍යයි. සන්තර්පනයි.
මුත්‍රන ව්‍යුහයෙහි :- මුල් ඇට හා කොල මුත්‍රලයි.
සාත්මීකරණය :- ඇට බල්‍යයි, වෘහණයි.

සංරක්ෂණ විධි :-

ගසේ කටු සම්පූර්ණයෙන් වැඩුනු පසු ගස් උදුරා වැඩුනු පසු ගස් උදුරා හොඳින් වියලා වායු නිවාරක භාජන වල අවුරා තැන්පත් කල යුතුයි. වාතයට විවෘතව තැබීමෙන් ගුණ හීනවේ.

මාත්‍රාව

මුල් කෂාය හෝ ශීත කෂාය – කර්ෂ 1-3

ඇට වුර්ණය – කලං 1/2-1

පංචාංග ස්වරසය – තෝලා 2-5

ක්ෂාරය – රක් 2-5

හස්මය – මාෂක 1-2

ප්‍රයෝග :-

වා. පිත් දෙකින් උපදින තෘෂ්ණා දාහ වලදී යොදයි.

නාඩි ව්‍යුහයෙහි :-

නාඩි දෞර්බල්‍ය, වාත ව්‍යාධි, ආමවාත යන මේවාට බීජ ගුණයි.

අන්න පවන ව්‍යුහයෙහි :-

කාමලා, යකෘතෝදර, යකෘත් අවරෝධ ජනිත ශෝථ, පිත්තානිසාර, ආනාහ යන රෝග අවස්ථා වලදී මුල් හා කොලද ජලෝදරයේදී ක්ෂාරය ද, ප්‍රවාහිකාවේදී අයිසගුලු මෙන් මෙහි ඇටද යෙදිය හැක.

රක්ත සංවහන ව්‍යුහයෙහි :-

රක්ත පිත්ත, වාතරක්ත, රක්තාල්පතා වලදී යෙදිය හැක. කැස්ස හා වාතරක්තයේදී කොල උයා කෑම ගුණයි. ශෝථයේදී මුල ක්වාථය ගෝ මුත්‍ර සහිතව හා පංචාංග ක්ෂාරය යොදයි.

මුත්‍රන ව්‍යුහයෙහි :-

මුත්‍ර කෘච්ඡු, අශ්මරී, වස්ති ශෝථ යන රෝග අවස්ථා වලදී මුල්, කොල, ඇට යොදයි. පංචාංග ක්ෂාරය මුත්‍ර කෘච්ඡු, අශ්මරී යන රෝග අවස්ථා 2 දීම දිය හැක.

සාත්මිකරණය :-

බීජ වුර්ණය දුර්වලත්වයෙහි හිතය.

ආමයික ප්‍රයෝග :-

අශ්මරියට – ගොකටු, ඉකිරි, එරඬු යන තුන් වර්ගයේ මුල වුර්ණය කිරි සමග බීම ගුණයි.

වාජීකරණයට – වඳුරු මෑ ඇට, ඉකිරි ඇට, සීනි, ධාරෝෂ්ණ ක්ෂිරය සමග බිම ගුණයි.

උදරයට – එරබදු. ඉකිරි, කරල් සැබෝ යන මේවායේ ක්ෂාරය තලතෙල් සමග බීම ගුණයි.

ප්‍රජනන ව්‍යුහයෙහි – ශුක්‍ර දොර්බල්‍ය, ජනනෙන්ද්‍රිය විකාර, ස්තන්‍යය ක්ෂය යන රෝග අවස්ථා වලදී බීජ වුර්ණය ගුණදායි වේ.

යෝග හා විවිධ සංරක්ෂණ යොදන රෝග අවස්ථා:-

කෝකිලාක්ෂ ක්ෂාරය – ක්ෂාර පරිභාෂාවෙන් සාදා ගනී.

මාත්‍රාව – මංවාධි 7 1/2-15

අනුපාන – ගෝ මුත්‍ර හෝ ජලය

යොදන අවස්ථා – ශෝථයේදී යෙදිය හැක.

ඉක්ෂුර අර්ජුන තරල සාරය:-

තරලසාර පරිභාෂාවෙන් සාදා ගනී.

මාත්‍රාව :- බිංදු 60-120 (මි.ලී. 4-8)

යොදන අවස්ථා :- හෘද රෝග, මුත්‍ර කෘච්ඡ, වෘක්ක රෝග වලදී දිය හැක.

ඉක්ෂුර ලේපය :-

පත්‍ර ප්‍රලේපය

යොදන අවස්ථා :- ශෝථයේදී යෙදිය හැක.

කෝකිලාක්ෂ බීජ චූර්ණය :- ඉකිරි ඇට හා වඳුරු මෑ ඇට වුර්ණය සීනි හා ධාරෝෂ්ණ දුග්ධ සමග මිශ්‍ර කර සාදා ගනී.

යොදන අවස්ථා:- වාජීකරණයට හිතය.

පෞෂ්ටික චුර්ණය :-

විශිෂ්ඨ යෝගයකි.

ශාකයේ අන්තර්ගත රසායනික උපාදාන :-

කොලෙස්ටරෝල් නම් උපක්ෂාරය ඇත. ක්වාථයෙහි පොටෑසියම් ක්ලෝරයිඩ් හා පොටැසියම් සල්පේට් අධිකව ඇත. මැංගනීස් හා ස්ථායි තෛලද ඇත. බීජ වල කසාවන් ස්ථිර තෛල හා ඇල්බියුමිනොයිස්ද ඇති අතර, අල්පව ක්ෂාර ද ඇත.

ප්‍රතිනිධි :-

ඩිජිටේලිස් (තිලපුෂ්පි) වෙනුවට ගත හැක.

ශෝථනුත් කෝකිලාක්ෂ්‍ය

හස්ම මුට්‍රෝන වාමහසා

  • වංද.

” කෝකිලාෂස්තූ කාකෙක්ෂුරික්ෂුර: ක්ෂුරක ක්ෂුර: භික්ෂු: කාන්ඩෙක්ෂුරප්‍යුක්ත ඉක්ෂු ගන්ධෙක්ෂුවාලිකා ක්ෂුරක: ශීතලෝ වෘෂ්‍ය : ස්වාදම්ල: පිත්තලස් තථා තිතෝ වාතාම ශෝථාශ්ම තෘෂ්ණා රුච්‍ය නිලාසුජිත්

භා.ප්‍ර.

ආශ්‍රිත ග්‍රන්ථ :-

ආයුර්වේද ඖෂධ සංග්‍රහය 1. 11

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top