BOTANICAL NAME – Justisia adhatoda L. Adhatoda. vasica L
FAMILY – ACANTHACEAE
පොදු සිංහල නම – පාවට්ටා, අගල් ආධාර, වං ඇපල, වැටහිර
හින්දි නාමය – අඩුල්සා, අඩුසා, (අටරූෂා ශබ්දයේ ඡායාවත්ව)
බෙංගාල නාම – වාසක, බාසක
දෙමළ නාම – ආඩතෝඩෙයි. ප්රාවට්ටෙයි
ඉංග්‍රීසි නාමය – Malabar nut
සංස්කෘත නාම – වාසා, වාසක, වාසිකා
පර්යාය නාම
සිංහල පර්යාය නාම
ආඩතෝඩා – (එළුවනට අප්‍රිය නිස)
වංඇපල – (හොඳ ඇපල ගස් වර්ගය)
වැටහිර – (ගොවිපලේ සේදී යන වැට ඉනි හිර කරන නිසා)
අගල් ආධාර – (උණ පඳුරුමෙන් වං ඇපල සඳු සෝදා පාළුව වලක්වන නිසා ගල් නැති ආධාරයක්
සංස්කෘත පර්යාය නාම
වෛද්‍ය මාතා/ හිෂග්මාතා – වෙදකමේ දී නිතර පිහිට වන නිසා
අටරූෂක/ ආටරූෂ/ අටරුෂ – අටවිය රූෂණය (අලංකාර) කරන හෙයිනි.
සිංහස්යා, සිංහමුඛී – ( පිපුණු මලින් සිංහකට දැක්වෙන හෙයිනි)
කන්ධිරවි
සිංහපර්නි – (සිංහි)
වාජිදන්ත – (අශ්වදන්තයක් බඳු සුදුමල් ඇති නිසා)
වාසා, වාසක, වාසිකා – තමා අවට පෙදෙස තම මොටි ගස් වලින් වසා දමන හෙයිනි)
පඤ්චමුඛි – සිංහි
රසාදනි – (පොළවේ රසය උරන හෙයිනි)
මෘගෙන්ද්රාණි – සිංහි
මෘගෙන්ද්රානී – සිංහි
වාමාපීඩ – (පිපුණු මල් රැස ඔටුන්නක් බඳු වන නිසා)
වෘෂා – (මල් වලින් පැණි වැගිරෙන නිසා)
කුලය – වාසා කුලය
පැරණි වෛද්‍ය ග්රන්ථ වල ප්‍රභේදයක් නොදක්වුණත් අලුත් පොත්වල සුදු, කළු, යනුවෙන් පුෂ්පවාසක, තාමුපුෂ්පවාසක යනුවෙන් ද්විභේදයක් දක්වා ඇත. තාමුපුෂ්ප වාසකය අධික තිත්ත රසයෙන් යුතු අතර, ශ්වේත පුෂ්ප සහිත වර්ගය වඩාත් ගුණාත්මක වන බව වරක සංහිතාවේත් ද්‍රව්‍ය ගුණ විඥාන ග්රන්ථවලත් සඳහන් වේ.
බේත් පැලෑටි අතර, ප්‍රධාන තැනක් හිමිවන පැළෑටියකි. බේත් තැනීමේ දී ආඩතෝඩා පංචාංගයම උපයෝගී වේ. ජන ව්‍යවහාරයේ අගල්වල අද්දර සිටුවීමට ගත් හෙයින් අගල් ආදාර නමින් ද ඉඩමේ මායිමට වැටක් සේ සිට වූ නිසා වැටහිර නමින් ද පාවට්ටා යන නමින් ද හැඳින් වේ. එහෙයින් පාවට්ටා, වාසක (ආඩතෝඩා) නො වුව ද ආඩතෝඩා සඳහා කලෙක සිට ව්‍යවහාරයේ එන ප්‍රසිද්ධ නාමයකි.
දෙමළ පාවට්ටෙයි = ආඩතෝඩාය. අස්රුද මල් නමින් ප්‍රසිද්ධ පැළෑටිය ද පාවට්ටා යනුවෙන් හඳුන්වන්නේ බව සඳහන් වේ. එය ගම්පහ පැක්කේ මල් පාවට්ටා ය. ආඩතෝඩා සඳහා දී ඇති වෙනත් පර්යාය ගත අර්ථ වලින් ආඩතෝඩා වල ස්වභාවය පැහැදිලි වේ.යි.
වැවෙන ප්‍රදේශ
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවෙත් සියළුම ප්‍රදේශයන්හි ද නේපාලයේ ද වැවේ.
රසායනික සමතාවය
මෙහි වාෂ්පශීලි තෛල පදාර්ථ වර්ණකාරක පදාර්ථ මැලියම්, තිත්ත උපක්ෂාර (Vasicine Adhatodic Acid) ජෛව අමල හා සීනි අන්තර්ගතය.
රස ගුණාදිය
රස – තිත්ත, කෂාය
ගුණ – ලඝු රුක්ෂ
වීර්ය – ශීත
විපාක – කටු
වං ඇපල තිත්ත රස ද කසට රස ද වේ. වායු වඩයි. ස්වරය වඩයි. හෘදයට හිත කරයි. ලඝුය. ශීත වීර්යවත් ය. කළු, පිත්ත රක්ත දෝෂ, පීනස් රෝග. ශ්වාස කාස, උණ වමන, ප්‍රමේහ, කුෂ්ඨ, ක්ෂය, යන මේවා විනාශ කෙරේ.
ප්‍රයෝජනයට ගන්නා කොටස්
පොතු ඉවත් කල දණ්ඩ හැර ගසේ සෙසු සියළුම කොටස් ප්‍රයෝජනයට ගැනේ. (කොළ, පොතු, මුල්, මල්, නැටි යන වාසා පංචාංගය) ඉක්මනින් ගුණ හීන විය හැකි නිසා, ආඩතෝඩා භාවිතයට ගැනීමේ දී අලුත් අවස්ථාවේ දීම රැස්කර පවනේ වියලා ගත යුතුය.
දළු අනුපාන ගැනීමේ දී අමු අවස්ථාවේ ම රැස්කර ගත යුතුය.
විශේෂයෙන් නොවැම්බර් මාසවල මල් පිපෙන්නට පෙර, උදෑසන කඩා පවනේ වියළා ගත් පසු සුළං නොවදින සේ රැස්කොට තබා ගත යුතු ය. තද අවවේ වියලා ගැනීම අයෝග්‍ය ය.
මල් කොටස කැකුළු අවස්ථාවෙහි කඩා පවනේ වියළා ගත යුතුය. වර්ෂයකට කීප වරක් කොළ මල් රැස්කර ගත යුතු ය.
මාත්‍රාව
පත්‍ර ස්වරස කර්ෂ 1 – 2 (මි.ලී. 60 – 120) දක්වා
පොතු වාරය පලං 1 – 2 දක්වා
මුලත්වක් චූර්ණය – මාෂක 1 – 4 දක්වා
ප්‍රයෝග
කාස, ශ්වාස, හික්කා, රක්ත පිත්ත, හලීමක. හෘද්මරෝග, අම්ලපිත්ත, පීනස් යන රෝග සඳහා වෙසෙසින් යෙදේ. ලඝු, රුක්ෂ, ගුණ හා තිත්ත, කෂාය රස හා එක් වූ හෙයින් සෙම ද, ශීත, වීර්යය හා තිත්ත, කෂාය රස එක් වූ හෙයින් පිත ද. සන්සිඳුවාල යි. ශ්වසන ව්‍යුහයෙහි වාසක හොඳින් ක්‍රියා කරයි. සෙම දිය කර බැහැරට ඇද හෙළන අතර ශ්වාස නාලිකා වල ප්‍රසාරණය යන්තමින් හෝ ඇති කර ශ්වසනය පහසු කරවයි. මේ අනුව ශ්වාසහර ද්‍රව්‍යය ලෙසත්, කළු කාසහර ද්‍රව්‍යයක් ලෙසත් ආයුර්වේදයෙහි ප්‍රසිද්ධව ඇත. එහෙත් ද්‍රව්‍ය ගුණ විඥාන ග්රන්ථයන්හි සඳහන් වන්නේ විශේෂයෙන් පාවට්ටා රත්පිතට හා ලේ ගැලීම් සහිත රෝග අවස්ථා වලට ය. එසේ වන්නේ පිත්ත ශාමක ද්‍රව්‍යයක් වූ නිසාය.
මුත්‍ර ව්‍යුහයෙහි මුත්‍රජනක මෙන් ම, හමෙහි ස්වේදජනක ද්‍රව්‍යයක් ලෙසින් ද ක්‍රියා කරන නිසා, කුෂ්ට රෝග සඳහා ද යෙදිය හැකිය.
ආඩතෝඩා මල්, මුත්‍ර කාච්ඡ, මුත්‍ර දාහ. ප්‍රමේහ යන රෝග වලට ගුණ කාරකය. මුත්‍රා ඝාතයට වාසා ක්වාර ප්‍රයෝගය අනුදන ඇත. එය රත්පිත් රෝගීනට ද ගුණ දායකය. ආඩතෝඩා පංචාංගය දේශීය වෙදකමේ ප්‍රධාන කෂාය යෝගයකි. අන්න පවන ව්‍යුහයේ දී ස්තම්භන කාර්යය ඇති කරවන නිසා අතිසාර ප්‍රවාහිකා යන අවස්ථා වලට මෙන්ම ලේ පිටවන රක්තාතිසාරයට ද ප්‍රයෝග කරනු ලැබේ. මේ නිසා රත්පිත්, රක්ත අර්ශස්, රක්ත ප්‍රදර, රක්ත නිෂ්ඨිවන. රක්ත විකාර යන රෝග අවස්ථාවල දී යෙදිය හැකිය. විශේෂයෙන් රාජයක්ෂ්මි රෝගීන්ට ද ගුණදායක වනුයේ මෙම කරුණ ද හේතු කොට ගෙනය. එබඳු රෝගීන්ගේ උකු සෙම දිය වී පහසුවෙන් බැහැරට ඇදී යන අතර නිතර පවත්නා වියළි කැස්ස ද ක්‍රමයෙන් අඩු වී යයි. තුවාල සුව කරන අතර කැස්ස සමග හෝ කැස්සට පසු ව, පෙණහලු වලින් බැහැරට එන සෙම සමඟ වූ මුඛයෙන් නික්මෙන සෙම් දියර ද නතර කරයි. ඩහදිය ඇති කරයි. උන නැති කරයි.
වාසා ක්වාථය මෙන් ම සෘත, අරිෂ්ට, වටී, ක්ෂාර, ඵාණ්ඨ, අවලේහ වශයෙන් විවිධ සංස්කරණ ද ඇත. වාසාවලේහය, වෘහත් වාසාවලේහය, වාසා ඛණ්ඩය, වාසාරිෂ්ටය, වාසසෘතය, සිංහාස්යාදි වටීය, වාසා (අඩූසා) ක්ෂාර, වාසා පැණිය. ඉන් ප්‍රධානය.
වරකාවාරීන් මෙය තික්තස්කන්ධයට අයත් ද්‍රව්‍යයක් ලෙස සඳහන් කර ඇති අතර විරතරාදි ගණයට ඇතුළත් කොට ඇත. එහි ම වං ඇපල මල්, සෙම්, පිත් නසන අතර, තිත්ත ශිත කටුක රසයෙන් යුතු හෙයින් දෝෂයන් පැසවන බැව් දක්වා ඇත.
වාසා යෙදුණු විවිධ සංයෝග දෙස බලන විට ගහේ විවිධ කොටස් විවිධාකාර යෙන් ගුණ දී ඇති බව පෙනේ.
මුල් වාතරක්ත රෝග වලට ද, දළු, කොළ, පොතු වලට ද හිත යි. රත්පිත් ආදී රෝග
මල් – සෙම් රෝග
රෝග අවස්ථා සඳහා උපයෝග
ගුද කීල – වං ඇපල පොට්ටනියෙන් තැවීම
වාත ශුල – වං ඇපල පොට්ටනියෙන් තැවීම
වං ඇපල යොදා සිඳ ගත් තෙල පාවිච්චි කිරීම.
” වාසකෝ ‘ වාතකෘත් ස්වයඃ කළු පිත්තාසුනාශනඃ, තිත්තස්තු වාසකෝ හෘද්දො ලඝුඃ ශීතස්තෘර්වර්තිතෘත් (භාව ප්‍රකාශය)
“ස්වාස කාස ජීජ්වරච්ඡදි – මෙහ කුෂ්ඨ කථාපහඃ
” වෘෂා හස්තයෝ පුෂ්පාණි තිත්තානි කටු විපාකානි ක්ෂය කාසායහානිව (සු. සූත්‍ර)
” වාසායාං ” විද්යාමානායාමාශායාං ජිවිතස්ය ච,
” රත්තපිත් තීක්ෂයිකාසී – තිමථම වසීදති. -(වෘහත් මාධවය)
” සිංහාස්සෝ වාජිදන්තඃ ස්යාදාට රූෂක ඉත්යපී:-“
” වාසිකෝ වාසිකා වාසා – මා මා පීඩෝ ‘ ටරූෂකඃ, සිංහාසයඃ සිංහිකා සිංහ – පර්ණි සිංහ මුඛී වෘෂඃ:
- මහෞෂධනිඝංටුව.
ආයුර් ර්වේද ඖෂධ සංග්‍රහය 1970 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව සිංහල ශබ්ද කෝෂය සංස්කෘතික දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



