අත්තන

BOTANICAL NAME – Datura metal L.
FAMILY – SOLANACEAE

පොදු සිංහල නම – අත්තන
හින්දි භාෂාවෙන් – ධතුරා
බෙංගාලි භාෂාවෙන් – ධූතුරු
ද්‍රවිඩ භාෂාවෙන් – උමත්තයි, වෙහුමත්තයි
ඉංග්‍රීසි භාෂාවෙන් – Thorn apple, White Datura
කුලය – කණ්ටකාරි කුලය

පර්යාය නාම

  1. ධන්තුර
  2. දුර්ත
  3. දේවතා
  4. කිතව
  5. ශඨ
  6. මාතුලක
  7. ශ්‍යාම
  8. මදන
  9. ශිව ශෙඛර
  10. ඛර්ජුස්න
  11. කාලපුෂ්ප
  12. කණ්ටඵල
  13. මෝහන
  14. කලහ
  15. ශෛව
  16. ධුස්තුර
  17. කනක
  18. උන්මන්තක

සුදු අත්තන

සුදු මල් අත්තන (ශෙවත පුෂ්ප ධන්තුර) මේ වර්ගය සුලභව දැකිය හැකි ප්‍රභේදය වේ. මෙහි කොළ දඬු ආදී සියලුම අංග හරිත වර්ණවේ.

කළු අත්තන

BOTANICAL NAME – Datura metal L.
FAMILY – SOLANACEAE

මල් දම් පැහැය ගනී. වම්බටු පැහැය මෙනි. කඳ (දණ්ඩ) කළු පැහැයක් ගනී. (කනක ධූස්තුර)

මල් පමණක් නොව පත්‍ර, පත්‍ර පෘෂ්ඨ, ශාඛා, ඵල ආදී සියල්ලක්ම රක්ත නීල වර්ණයෙන් යුක්ත වේ. කළු අත්තන මල දැකීමෙන් එම මල තුළ තවත් මලක් ඇතිවාක් මෙන් හැඟේ.

තාරු අන්මට්ටෙයි, වෙන් අන්මට්ටෙයි යන ද්‍රවිඩ නමින් හැඳින්වේ.

තුන්බෝ අත්තන

මල රවුම් තුනකින් යුත් කළු අත්තන විශේෂයකි.

BOTANICAL NAME – Datura suaveolens H & B
FAMILY – SOLANACEAE

ලංකාවේ සහ ඉන්දියාවේ සියලුම ප්‍රදේශයන්හි වැවෙන මෙය වර්ෂ ජීවි ක්ෂූපයකි. බටු ගසට සමාන වේ. සමහර විට ඊට වඩා මහත් වේ. අඩි 2-6 දක්වා උසට වැඩේ. මෙහි කොළය බටු කොලයට සමාන කමක් දක්වන අතර අඟල් 6-7 පමණ දිග හා අඟල් 4ක් පමණ පළලය.

රස – කෂාය, මධුර හා තික්තය
ගුණ – ලඝු හා රූක්ෂය
වීර්යය – උෂ්ණය
විපාක – කටුක, ප්‍රභාව, මාදකය

මල ගණ්ඨාවක නලාවක් බදු හෙයින් ඝණ්ඨාපුෂ්ප යන සංස්කෘත නමින් ද හැඳින්වේ. ගෙඩිය කටු සහිත හෙයින් ස්පර්ශයට අපහසුය. කොළ පැහැය ගනී. හොඳින් පැසුණු විට පුපුරා ඇට විසිරී යයි. අත්තන බීජ මිරිස් ඇට හා සමාන වූවත් ඊට වඩා මහත්ය.

උඩරට පෙදෙස් හි ඉතා සුලභ අත්තන වෙසෙසක් ද ඇත. එය අඩි 6-7 පමණ උසට වැඩේ. මල සුදු අත්තන මලට සමානය. හොරණෑවක් වැනිය. දිගින් හා මහතින් වැඩිවේ. කොළ ආඩතෝඩා කොළ වලට සමාන බවක් දක්වයි. එහෙත් දිගින් හා පළලින් ඊට වැඩිය. සියුම් බූවකින් යුක්තය. එම වර්ගයේ ගෙඩි හට ගන්නා බවක් දක්නට නොලැබේ. ඉන්දියාවේ නොච්බිහාර් ප්‍රදේශයේ ගණ්ටාධූත්රා නමින් ප්‍රකට මෙය බාහිර ප්‍රයෝග සඳහා සුදු හා කළු අත්තන මෙන්ම යෝග්‍ය වේ.

කර්ම

දෝෂාණුරූපව කර්ම – උෂ්ණ හෙයින් කඵ වාත හරද පිත්තවර්ධක ද වේ. සමෙහි ප්‍රලේප කිරීමෙන් ස්ථානික සංඥහර සහ වේදනාස්ථාපන කාර්යය ඉටු කෙරේ. රක්ත සංවහන ව්‍යුහයෙහි ක්‍රියා කර හෘදය අවසාද කෙරේ. අත්තන මාදක, නිද්‍රාජනක, උත්තේජක, වේදනාස්ථාපන හා ප්‍රලාප ජනක වේ. කාස ශ්වාස නසයි. අත්තන කොළ දුම් බීමෙන් ශ්වාසය වහා සමනය කෙරේ. උෂ්ණ ගුණය නිසා අග්නි දීප්තිය ඇති කෙරේ. ලාලා ප්‍රසේකය හා ශූලය ශමනය කෙරේ. මුත්‍ර කාරක ගුණයෙන් යුතුය. රූක්ෂ හා උෂ්ණ ගුණයෙන් යුතුය. රූක්ෂ හා උෂ්ණ හෙයින් ස්තම්භන, ශුක්‍රශෝෂණ හා ස්තන්‍ය නාශකය.

වර්ණ ප්‍රසාදකය කුෂ්ඨ හා කාණ්ඩු නසයි. ස්වේදාපනයන වේ. ජවර නාශකය.

ප්‍රයෝජනයට ගන්නා කොටස්

කොළ, මුල්, දඬු, ඇට, මල්, ගෙඩි ආදී සම්පූර්ණ පැළෑටියම ප්‍රයෝජනයට ගැනේ. කළු අත්තන ගුණයෙන් අධිකය. මෙය තීක්ෂන හා මාදක ද්‍රව්‍යයකි. කොළ හා බීජ ඖෂධ ගුණයෙන් ප්‍රධාන අතර බීජ වඩාත් ගුණයෙන් අධික වේ.

අත්තන උපවිෂ ගණයට අයත් වේ.

ශෝධනය

අත්තන ඇට ගෝ මුත්‍රයෙහි යාම සතරක් බහා තැබීමෙන් පසු පොතු හැරගත් කල්හී ශෝධනය වේ.

ප්‍රයෝග

ව්‍රුණශෝථ, ආමවාතජ සන්ධි ශෝථ, ග්‍ රන්ථීශෝථී, ගුද්‍රසි ආදී ශෝථ වේදනා ඇති අවස්ථාවන්හි දී බාහිර ප්‍රලේප වශයෙන් ද අත්තන යොදා තනා ගත් කොළ අභ්‍යංගය පිණිස ද යෙදේ. කළු අත්තන කොළ අඹරා ආලේප කිරීමෙන් පයෝධර වේදනා හා ප්‍රදාහජශෝථ සුව කෙරේ.

අධික ලෙස තන කිරි වැගිරීමේ දී අත්තන කොළ පැලැස්තරය හෝ අත්තන කොළ උතුරන වතුරෙහි ලා ගෙන තැවීම ද ප්‍රත්‍යක්ෂ ප්‍රයෝගයකි.

ඔසප් ශූලයෙහි ද අත්තන කොළ පැලැස්තරය වස්ති ප්‍රදේශයෙහි යෙදීමෙන් වේදනා ශමණය වේ.

අභ්‍යන්තර ප්‍රයෝග වශයෙන් රක්ත සංවහන ව්‍යුහයෙහි ක්‍රියාකර හෘදය ශූල, හෘද්ද්‍රව්‍ය විකෘති ස්පන්ධන ආදී හෘද රෝගවලදී යෙදේ.

වේදනා නාශක ගුණය හේතු කොටගෙන කම්ප ශූල යුක්ත වාත ව්‍යාධින්හි ප්‍රයෝග කෙරේ. වාත, කඵ, කාස, ශ්වාස කුක්කරකාසයන්හි ගුණදායක වේ. දීපන හා ශුල ප්‍රශමන හෙයින් අග්නිමාන්ද්‍යයෙහි ද උදර ශූලයෙහි ද ප්‍රයෝග කෙරේ. අම්ලපිත්තයෙහි දී අම්ලෝද්ගාරය වලක්වයි.

මුත්‍ර ව්‍යුහයෙහි ක්‍රියාකර මුත්‍ර මාර්ග ශුල, වස්ති ශෝථ වෘක්කාශ්මරී රෝග සඳහා ගුණ දේ.

යුකලික්ෂා (උකුණු ආදී බාහිර කෘමීන් නැසීම පිණිස බෙහෙවින් යෙදේ. උඳුගොව්වා කෑමෙහි (ඉන්ද්‍රලුප්ත) සමේ අත්තන කොළ යුෂ ආලේප කිරීමෙන් ගුණ ලැබේ. එම යුෂ එළඟි තෙල් ස්වල්පයක් සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් සම මතුපිට ගෙඩි පැසවා ඉක්මනින් පුපුරා යයි.

උන්මාද චිකිත්සාවෙහි අත්තන මුලේ පොතු ගුණදායක ඔසුවකි. පිස්සුබලු විෂෙහිදී අත්තන මල්, මුල්, සහ කොළ යුෂ විවිධ යෝග සඳහා දේශීය වෛද්‍යවරු භාවිත කරති.

ශ්ලිපද රෝගයෙහි අත්තන ඇට චූර්ණය වර්ධමාන ක්‍රමයෙන් වැළදීමෙන් ගුණ ලැබේ.

කර්ණ රෝගයන්හිදි අත්තන කොළ යුෂ යෙදේ. කර්ණ ශුලයෙහි අත්තන මල් යුෂ කණ වැක්කිරීම පිණිස යෙදේ.

රක්තාර්ශස් හා මල ද්වාරයෙහි අබාධ හේතුවෙන් වරින් වර මල පහ කිරීමේදි අත්තන වලින් සාදාගත් “මලහර ආලේපයෙන්” ගුණ ලැබේ.

හිසකෙස් වැටීම හා ඉස්සොරි සඳහා අත්තන ගෙඩි යුෂ හිසේ සමෙහි ආලේප කිරීමෙන් ගුණ ලැබේ.
අණ්ඩවෘද්ධි, හිසරදය, ගෙඩි, ගුද්‍රසි අවස්ථාවලදී අත්තන කොළ මැල්ලුම ප්‍රයෝගය ගුණදායකය.

නෂ්ටකාමය සඳහා අත්තන ඇට වලින් තනාගන්නා ඖෂධ බාහිර හා අභ්‍යන්තර වශයෙන් යෙදීම යුනානි වෛද්‍යවරයන් අතර ව්‍යවහාර වේ.

අත්තන ආක්ෂේප නිවාරක ගුණයෙන් යුතු බැවින් ශ්වාස රෝගයේදී වියළා ගත් කොළ සහ දඬු චූර්ණ කොට දුම්කොළ මෙන් දුම් බීම සඳහා ප්‍රශස්ථය, රක්තිකා 5-15 දක්වා ක්‍රමයෙන් වැඩි කරමින් යෙදිය හැක. ධුස්තුරාදී ධූමය නමින් යෝගයක් ද ශ්වාස රෝගයේහිදී ක්ෂනික ගුණ බලාපොරොත්තුවෙන් යොදනු ලැබේ.

යෝග

දුම්වැටි, ආසව, සුරාසව, තෛලාලේප, වටිකා ආදියෙහි භාවිතා වේ.

කනකාසවය, ජාතිඵලාදී වටී, තමාබු වටී, අභිඵෙන වටී, මහාලක්ෂ්මී විලාසරස, නාරදිය ලක්ෂ්මී විලාසරස, ධුස්තූර සුරාසවය, ධුස්තුරසාරය, ධුස්තුර ක්ෂාරය, ධුස්තූර තෛලය, කර්ණශ්‍රාව හර තෛලය ඉන් ප්‍රධානය.

සංරක්ෂණය

වර්ෂා කාලයට පෙර උදෑසන ගසේ ඉහළ කොටසේ කොළ හා පොතු රැස්කර පවනේ වියළා ගත යුතුය. තද ඉර අව්වෙන් වියළිමෙන් උපක්ෂාර හීන වේ. පවනේ හොදින් වියලා ගත් පසු රුද්ධ භාජනයන්හි රැස් කළ යුතුය.

මාත්‍රා

අත්තන ගසේ සෑම අංශයක් ම විෂ සහිතය. ගෙඩියේ ඇතුළත මදය ද විෂ සහිතය. තීක්ෂණ හා මාදක ද්‍රව්‍යයක් වන මෙය විෂ මාත්‍රාවෙන් ශරීරගත වූ කල්හි රෝගියාගේ ඥානේන්ද්‍රියන් අස්ථිර වේ. බුද්ධිය නැති වේ. දිව හා උගුර වියැලේ. දෙ ඇස් රතු පැහැය වේ. කනීනිකා ප්‍රසාරණය වෙති. ඇස් පෙනීම අඩු වේ. ප්‍රලාපය ඇති වේ. මත්වූවෙකු මෙන් බිත්තිවල නැගීමට උත්සාහ කරයි. තමාට පමණක් පෙනෙන සිතින් මවාගත් මවාගත් විවිධ දේ එකතු කිරීමට තැත් කරයි. ඇතැම්විට රත්රන් තිබේයැයි එකතු කිරීමට පෙළඹේ. විෂ ක්‍රියාව මර්ධනය නොකළහොත් දින දෙක තුනකින් හෘත්ක්‍රියාව නොමැති වී මිය යයි.

විෂ ප්‍රතිකාර

ආමාශය සෝදා හැරීම
කුකුරුමාන් කෂාය වැනි වමන කාරක ඖෂධයකින් වමනය කරවීම. අමාෂය මැනවින් ශුද්ධ වූ පසු ගිතෙල්, නවනීත, දොවාගත් විගස එළකිරි පානය කරවීම ද සුදුසු වේ.

අත්තන විෂයට එළකිරි නෙලුඔල එම ඇට වෙන වෙන
උක්සකුරුත් හා එළකිරි දෙක එක්කොට ගෙන පොව මින
ගිතෙල් දෙබාගයකට උක්සකුරු දෙබාගයක් රැගෙන එක්කොට පොව අගුණු කෂයෙනුත් තෙබාගයයක් රැගෙන

ගිතෙලින් බාගයකුත් එක්කොට පොවමින් අරළු යුසින
යුතු කර ගත් එරඬු තෙලුත් බුව අත්තන විෂ නස මින

(සිංහල යෝග රත්නාකර, ප්‍රතිවිෂ විධි චිකිත්සා)

අත්තන විෂ සඳහා ගම්මිරිස් හා ශත පුෂ්ප ද ගුණදායකය.

සාත්මීකරණය

කටු හා රූක්ෂ හෙයින් ධාතු ශෝශනය කෙරේ. අබිං වච්චනාවි විෂ සඳහා ප්‍රතිවිෂ වශයෙන් යෙදේ.

“ධුස්තුරෝ ධූර්තධුස්තුරාවුන්මත්ත: කනකාශ්වය:
දේවිකා කිතවස්තුරී මහාමොහි ශිවප්‍රිය:
මතුලෝ මදවර්ණාග්නි වාතකෘජ්ජවර කුෂ්ඨනුත්
කෂායෝ මධුරස්තික්තෝ යුකාලික්ෂාවිනාශක:
උෂ්නෝ ගුරුව්‍රණශ්ලේෂම කණ්ඩු ක්‍රිමිවිෂාපහ:
වේදනාහරණ නිද්‍රජනනෝ මුත්‍රවර්ධන:
සමන්තත: ප්‍රලෙපෙන කනීනිකාප්‍රසාරණ:
ධූස්තුරධූමපානෙන ශ්වාසස්තුර්නං ප්‍රශාම්‍යතිං”
භා . ප්‍ර)

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි.

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top