අක්මැල්ල

අක්මැල්ල

BOTANICAL NAME – Spilanthes paniculata Wall. ex DC.
FAMILY – COMPOSITAE

පොදු සිංහල නම – අක්මැල්ල
සංස්කෘත – කෘෂ්නාර්ජක
හින්දි – උක්රා, පොකර්මුල්
ඉංග්‍රීසි – TOOTH ACHE PLANT
දෙමළ – අක්කිරාකරම්
සංස්කෘත – පර්යායාඅකල්කර්, කෘෂ්ණාර්ජක, නදීකාන්ත, කාමුක, රක්තමන්ජරි, කාලමාල, කරාලා, කෘෂ්ණ මල්ලිකා

ඓතිහාසික විවරණය

භාරතීය වෛද්‍ය සංහිතා ග්‍රන්ථයන්හි හා ද්‍රව්‍ය ගුණ නිඝණ්ඩුවල අක්මැල්ල පිළිබදව සදහන් නොවේ යැයි අප රටේ වියතුන් අතර මතයක් පවතී. එහෙත් සරස්වතී නිඝණ්ඩුවේ අක්මැල්ල සඳහා සංස්කෘත පර්යාය දක්වා ඇත.

නිජ බිම

සංස්කෘත හා හින්දියෙන් නාමකරණය කර ඇති හෙයින් ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද මෙම පැළෑටිය වැවෙන බව සිතිය හැකියි. මැඩගස්කරය, පිලිපීනය, ඉන්දුනීසියාව යන රටවල ද මෙම පැළෑටිය දැකිය හැකිය.

කුලය – බෘංගරාජ

ප්‍රභේද –

ගෘහාශ්‍රිතව අලංකාරය සඳහා වවන වර්ගයක් හා කඳුරට ශීත ප්‍රදේශ වල වැවෙන වෙනත් වර්ගයක් වෛද්‍යවරු අක්මැල්ල වශයෙන් ගනිති.

I. අලංකාරය සඳහා වවන ගෘහාශ්‍රිත වර්ගය – ඇමරිකාව නිජබිම කොටගත් එකක් සේ දැක්වෙන අතර, අප රටට සංක්‍රමණය වූ පැළෑටියක් ලෙස හැඳින්වේ.

අලංකාරය සඳහා වවන ගෘහාශ්‍රිත වර්ගයේ මල් පොහොට්ටුව ලොකුය. එම වර්ගය නාගරිකව වසන වෛද්‍යවරු ඖෂධ සඳහා යොදා ගනිති.

උඩරට දිය සීරාව සහිත තෙත් බිම් වල වැවෙන වර්ගය. Spilanthes calva DC. COMPOSITAE යන උද්භිත නමින් හදුන්වන වර්ගය උඩරට ගම්බදව වෙසෙන වෛද්‍යවරුන් ඖෂධ සඳහා ගනිති. මල් පොහොට්ටුව කුඩාය. මෙම වර්ගය අප රටට ආවේණික වූ පැළෑටියක් යැයි සිතිය හැකිය. මෙම දෙවර්ගයේම මල් පොහොට්ටුව කහ පාටය. රසද බොහෝ දුරට එක සමානය. වෙනසක් නැති සේය.

මෙම ප්‍රභේද දෙක වෛද්‍යවරුන් තමන්ට පහසුවෙන් ලබාගත හැකි නිසා ගෘහාශ්‍රිත වර්ගය නගරබද වෛද්‍යවරුනුත්, උඩරට වැවෙන වර්ගය එම පළාතේ වෛද්‍යවරුනුත් ඖෂධ සඳහා යොදාගන්නට ඇත. ඖෂධ සඳහා මල්, මුල් මෙන්ම මුළු පැලෑටිය ද යොදාගත හැකිය.

රස – කටුක, තීක්ෂන
ගුණ – තීක්ෂන, රූක්ෂ
වීර්ය – උෂ්ණ
විපාක – කටුක

දෝෂණුරූප කර්ම

කඵ, වාත, ශාමක වේ. සෙම උත්සාරණය කරයි. බාහිරින් ද අතිශය උත්තේජක හා වේදනා නාශක වේ. ශෝත් නිවාරකය, අභ්‍යන්තරික වශයෙන් නාඩි ව්‍යුහය උත්තේජනය කරයි. මේ නිසා දත් කැක්කුම, හතිය, පෙනහළු ශ්වාස නාල ප්‍රදාහය මුඛයේ ලාලා ශ්‍රාවය නැති කරයි.

අක්මැල්ල දළු, කෝමාරිකා යුෂින් අඹරා ආලේප කිරීමෙන් ගින්නෙන්, උණු ද්‍රවයෙන් වූ පිළිස්සීම් හා පිළිස්සීම් විෂ සංසිදේ. විශේෂයෙන් දාහය නිසා ඇති වූ තුවාල ඇති විට මේරූ කොළ තල තෙලෙන් කකාරා එළිම ප්‍රශස්තය.

කඵ, වාත ශාමක හෙයින් පෙනහළු ශෝථ හා ස්වසන අපහසුතා ඇති රෝගීන්ට මෙන්ම නිව්මෝනියා රෝග අවස්ථාවන්හි දී බාහිර, අභ්‍යන්තර දෙවිදියෙන් ම ප්‍රයෝග කල හැකිය. හිස රදයට දළු අඹරාගත් ප්‍රලේපය ගුණදායකය. ළදරුවන්ගේ වචන හැසිරවීමේ අපහසුව (ගොතය හෝ වික්කල්) සඳහා මල් පොහොට්ටු නිතර කන්ට දීම දේශීය වෙදකමේ දක්වා ඇති උපක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ මුඛයේ ලාලා ශ්‍රාවය නැති කොට දිව හැසිරවීමේ පහසුව ඇති කිරීමය. පවනේ වියලාගත් කොළ චූර්ණය, තොල් හා විදුරුමස් ඇසුරු කළ රෝග සඳහා ද කෘමිනාශක පිණිසද යොදා ගැනේ.

සෙම්ගෙඩි ඉදිමුමට, ගලග්‍රහයට ගුණදායකය.

හනු සන්ධිය ඉදිමී වේදනාව ඇති විට අඹරාගත් අක්මැල්ල පිටතින් ආලේප කෙරේ. සම්පූර්ණ ක්ෂූපය යොදා සාදාගත් ජලයෙන් කට සේදීම මුඛරෝග සඳහා යෝග්‍ය බව දේශීය වෛද්‍ය ග්‍රන්ථ වල දක්වා ඇත.

හොරි, දද, කඩුවේගන්, කුෂ්ඨ ආදී චර්ම රෝග, වනතුවාල, ඔඩුවන, පිළිකා, අර්බුද, අග්නිදග්ධ තුවාල, මුත්‍රරෝග, විශේෂයෙන් ම අශ්මරි රෝගය, සූතිකා රෝග, ආමාවත රෝග, අග්නිමාන්ද්‍ය, ඡර්දී, අතීසාර, සර්පවිෂ රෝගවලදී, යෙදෙන නොයෙක් ඖෂධ සංස්කරණ සඳහා අක්මැල්ල යෙදේ. විරේක ගුණය අපේක්ෂා වෙන් ද අක්මැල්ල බෙහෙත් පිණිස ගනී. පිලිපීන ජාතිකයෝ සම්පූර්ණ ගස කෂාය කර අතීසාරයට යොදතී.

සංරක්ෂණ විධි.

බොහෝ විට අමු අවස්ථාවෙහි යෙදෙන හෙයින් අවශ්‍ය පරිදි රැස් කෙරේ. එහෙත් මතු ප්‍රයෝජනය සඳහා උදුරා පවිත්‍ර කොට මද පවනේ හොදාකර වියළා, වියළි ස්ථානයක තැන්පත් කළ යුතුය.

විශේෂතා

ගව වෙදකමේදී ද අක්මැල්ල භාවිතා වේ.

ආශ්‍රිත ග්‍රන්ථ

වණ වෙද පොත – දොන් සයිමන් වීරසේකර අප්පුහාමි
ද්‍රව්‍ය ගුණ විඥානය – ආයුර්වේද ප්‍රියවෘත ශර්මා
ආයුර්වේද ඖෂධ සංග්‍රහය

  • ප්‍රථම පියවර
  • දෙවන කොටස
  • තුන්වන කොටස

සර්ස්වතී නිඝණ්ඩුව

ප්‍රයෝග රත්නාවලිය – පූජ්‍ය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි
දේශීය වෛද්‍ය ශබ්දකෝෂය
දේශීය වෛද්‍ය අත්පොත්
දේශීය පුස්කොළ වට්ටෝරු පොත්

වෛද්‍ය ඇම්. ඇම්. චන්ද්‍රසේන
කථිකාචාර්ය ,
දේශීය වෛද්‍ය විද්‍යායතනය

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

Scroll to Top