BOTANICAL NAME – Ipomoea aquatica Forsk
FAMILY – CONVOLVULACEAE
පොදු සිංහල නම – කංකුන්
දෙමළ – සර්කරිවල්ලී, වෙල්ලයි කිරයි, කොයිලගු
බෙංගාලි – කල්මිසක්
හින්දි – කල්මිශාත්, කරමි. පතුශාබ්
සංස්කෘත නම – කාලම්බි
‘ කංකුං ‘ යන වචනය චීන නමකැයි ද මතයකි.
පර්යාය නාම
ශත පර්වි ( පුරුක් සියයක් ඇති යන අර්ථයකි)
ශක පර්වා
මෙම පැලෑටිය ආහාරයක් වශයෙන් වැඩි පුරම භාවිත වී ඇත.
උත්පත්ති ස්ථාන
ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය වැනි ආසියාතික රටවල් මෙම ශාඛයේ නිජ භූමිය වශයෙන් සැළකේ.
වැඩෙන පරිසරය
දිය සීරාව සහිත පහත බිම් ප්‍රදේශ වල, ඉතා සරුවට වැඩෙන පැලෑටියකි.
විවිධ වර්ගීකරණය
මෙම පැලෑටිය හරිත ශාකයකි. ආයුර්වේද ශාස්ත්‍රයේ කකාරාෂ්ටක ගණයේ ලා සලකා ඇති උද්භිදයක් බව පෙනේ.
පැලෑටියේ ස්වරූපය
සිහින් දිග පත්‍ර වල මුල් කොටස පළල් හරිත වර්ණ ශාකයකි. පඳුරු ගසා සරුවට වැඩෙනු දැකිය හැකිය. හොඳින් වැඩුණු ශාකයක් අඩි 1 1/2, 2 ක් උසට වැඩේ. දණ්ඩේ පුරුක් රාශියකි. පත්‍ර ශාඛා ගණයේ ලා සළකති.
පැලෑටියේ ගුණ
කලම්බී ශත පාර්වා – තථ්‍යයනේ නද්‍ර ගුණයථා
කළුව ස්තන්‍යදා ප්‍රොක්තා- මධුරා ශුක්‍රධාරිණී
රස – මධුර
ගුණ – ශීත, ගුරු
වීර්යය – ශීත
විපාක – මධුර
ප්‍රයෝජන
කංකුන් ප්‍රධාන වශයෙන් ආහාරයක් ලෙස ගන්නා ශාඛයකි. මෙම උද්භිදයේ පවතින ඖෂධීය ගුණ ලබා ගැනීම සඳහා වුවද, පාවිච්චි කරනු ලබන්නේ ආහාරයක් ස්වරූපයෙන් බව පෙනේ. ආයුර්වේද පොත්පත් වල කංකුන් ව්‍යංජනයක් ලෙස ගත යුතු බවත්, වඩා ප්‍රශස්ත වනුයේ යම් තෙල් වර්ගයකින් මලවා හෝ බැද ගැනීමෙන් පසුව ආහාරය ලෙස ගැනීම බවත් පෙන්වා දී ඇත. කංකුන් විෂ රහිත පැලෑටියක් ලෙස සළකතත්, ” ක ” කාරාෂ්ටක ගණයෙහි දක්වා තිබීමෙන් සහ තෙලකින් බැද ගත් පසුව ආහාරයට ගත යුතු බව පෙන්වා දීමෙන් පෙනී යන්නේ මෙම ද්‍රව්‍යය ශරීරය තුළ දී යම් අමතර ද්‍රව්‍ය සමග අහිතවත් ලෙස ප්‍රතික්‍රියා කරන බව සහ ජීර්ණ වීම සඳහා යම් අපහසුතාවයක් පෙන්නුම් කරන බවයි.
විශේෂ ගුණ
ආයුර්වේද පොත් පත්වල දක්වා ඇති අන්දමට කංකුන් වල ඇති විශේෂ ගුණ දෙකකි. එනම්, දුග්ධ වර්ධක හෙවත් ක්ෂීර වර්ධක ගුණය සහ ශුක්‍ර වර්ධක ගුණයයි. ක්ෂීර වර්ධකය මෙන්ම ස්තන්‍ය පිරිසිදු කිරීමේ ගුණයක් ද එහි පවතින බව පෙනේ. ශුක්‍ර දෝෂ අතුරෙන් ශුක්‍ර අල්පතාවය ශුක්‍රයෙහි ඝනතාවය හීන වී ද්‍රවතාවය ඇති වීම සහ එහි උකු ගතිය නැති වී වර්ණය ලා පැහැයක් ගැනීම වැනි අවස්ථා වල දී කංකුන් ප්‍රශස්ත ඖෂධයක් ලෙස ගැනේ. ශුක්‍ර තරලය ඝන කොට එහි ද්‍රවතාවය අඩු කිරීම සහ ශුක්‍රයේ පරිමාව වැඩි කිරීමේ හේතුයෙන් කංකුන් වක්‍ර අන්දමකින් වාජීකරණ ගුණ දක්වන බව ද කිව හැකිය. මීට අමතරව රුධිරය විෂවීම කෘමි ආබාධ ආදී අවස්ථාවලදී ප්‍රතිකාරයක් ලෙස ලෙස ද යෙදෙන අවස්ථා බහූලය. අර්ශස් හා දාහ රෝග වල දී ගුණය. වමන හා විරේචන ගුණ ද කංකුන් වල ඇත.
ආමධික ප්‍රයෝග
i. තන කිරි වැඩිමට : කංකුන් තල තෙලින් හෝ එළඟි තෙලින් බැද කෑම හෝ මැල්ලුම
ii. ලේ විෂ වූ අවස්ථා වලදී: කොටා යුෂ මේස හැඳි 2 ක් බිම
iii. අම්ල පිත්තයේදී: යුෂ මේස හැඳි 4 ට හක් කටු අළු මදට 4 දමා බිම
iv. ශුක්‍රය දියාරු බවින් යුතු වු විට :
(අ) යුෂ අවුන්ස 1 ට එළකිරෙන් තම්බා වියලා කුඩු කරගත් වඳුරු මෑ ඇට මදට 10 ක් දමා දිනපතා බීම
(ආ) එළඟි තෙලින් බැද පැය 4කට පෙර කෑමට ගැනීම
ලිඟුව අප්‍රාණිකත්වයට
යුෂ අවුන්ස 1 අමුක්කරා අල චූර්ණය තේ හැඳි 1/2 ක් දමා එලඟි තෙලින් මඳක් බැද දිනපතා කෑම
v. දියමැටියා කෑමට:
කංකුන් කැරට් සහ ඉඟුරු සමව අඹරා ගෑමට
vi. පීනසට :
(අ) මැල්ලුම හෝ සුදුසු තෙලකින් බැද ව්‍යංජනය ගැනීම
(ආ) කකාරා තෙල සිඳ තබා වරින් වර නාසයට ඉරීම
vii අබිං සහ පාසානම් විෂට :
ස්වරසය බීම
උපුටා ගන්නා ලද ග්‍රන්ථ
- ආයුර්වේද ශබ්ද කෝෂය කිරි ඇල්ලේ ඤාණවිමල හිමි
- සුබසෙත පත්‍රය
- Indian Metaria Medica
වෛද්‍ය ඩබ්. ඩී. දයන්තා පද්මලතා,
වෛද්‍ය නිළධාරි,
ආයුර්වේද මහ රෝහල,
කොළඹ – 08.



