අමු (කරල් අමු).

BOTANICAL NAME – Paspalum scrobiculatum L.

FAMILY – GRAMINEAE

පොදු සිංහල නම – අමු, කරල් අමු.

දෙමළ නම -වරාගු, වරාතු

හිංදි නම් – කෝදන්, කෝදෝ, කෝදන, කෝදව.

වංග නාමය – කෝදෝධාන්

සංස්කෘත නාමය – ක්‍රෝද්‍රව. කෝරදුෂ

පර්යාය නාමය

කෝදුව.

කෝරදුෂ

වල් අමු වන කෝදුව

තෘණ තංගු

මත් අමු – මදන කෝදුව

අමු – හමු යනු සමාන (ශ්‍යාමාක) යන්නෙකි. එහෙත් අමු යනු කෝද්‍රවය සඳහා ද, හමු යනු ශ්‍යාමාකය බොඩ හමු (මහරතු) සඳහා ද විවහර වෙයි.

කුලය – යව

වරක සංහිතාවේ ශුක ධාන්‍ය වර්ගය යටතේ ද සුශ්‍රැත සංහිතාවේ කු ධාන්‍ය වර්ගය යටතේ ද සාරාර්ථ සංග්‍රහයේ ක්ෂුද්‍ර ධාන්‍ය යටතේ ද කෝද්‍රවය දක්වා ඇත. මෙය ක්ෂුද්‍ර ධාන්‍යයක් ලෙස නම් කර ඇත්තේ එහි ධාන්‍යමය වටිනාකම අඩු බව (පහත් ඇට වර්ග) සළකා ගෙනය. නොහොත් ඇටයේ කුඩාකම සළකාගෙනය. යව කුලයෙහි ලා ගැනෙන මෙම ශාකය තෘණ විශේෂයකි.

ප්‍රභේද

අමු,වල් අමු (කැලෑ අමු.වල්බිම් අමු) මත් අමු යන තුන් වර්ගය ප්‍රධාන වේ.

ශ්‍රී ලංකාවේ උස් පහත් සෑම ප්‍රදේශ වල ම වැවෙන මෙම ශාකයෙහි ඇටය ධාන්‍ය වර්ගයක් ලෙස ප්‍රයෝජනයට ගනී. එසේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී මෙන් මැ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ දී ද ඖෂධයක් හැටියටත් මෙම බීජ ප්‍රයෝ -ජනයට ගන්නා අතර, වියළි ශාකය ගව ආදී සතුන්ගේ ආහාරයක් ලෙස ද භාවිත කෙරේ.

ගුණ

අමු ධාන්‍ය රස විසින් කෂාය ද මධුර ද වෙයි. ලඝුය. ශිතය. පිත හා විෂ පහ කරන අතර වාත කාරක වේ. වරක සංහිතාව අනුව මෙහි ඇති සංග්‍රාහි ශෝෂණ ගුණ නිසා මල රෝධක වේ.

ඖෂධ පිණිස ගන්නේ අමු ඇට යි. මෙය දම් උත්තලය. පුරාණයේ පැවති මාන (කිරුම්) ක්‍රම වල දී අමු ඇටය බර කිරීමේ ඒකකයක් හැටියට භාවිත විය.

ආහාරයක් හැටියට ද අමුහාල් භාවිත කෙරේ. එවිට තම්බා එහි වතුර ඉවත් කිරීම ගම්බද ජනතාවගේ සිරිතක් වන අතර ඇතැම් අමුවල ඇති මත් ගතිය මෙ මගින් ඉවත් වේ.

ගැමි වහරෙහි දැක්වෙන

” අමු කාල ද ” ” අමු කාලා වගේ “

යන යෙදුම් අමුවල ඇති මත්බව පිළිබඳ පැහැදිලි සාක්ෂියකි.

මත්අමු.වල්අමු, කැලෑ අමු ආදී නාම දේශීය වශයෙන් ඇති වූ ඒවා බව පැහැදිලි ය.

භාව ප්‍රකාශයෙහි සන්ධාන වර්ග යටතේ ධාන්‍ය අම්ල සාදා ගැනීම සඳහා සුදුසු ධාන්‍යයක් ලෙස කෝදුව හෙවත් අමු දක්වා ඇත.

කෝදුව උපයෝගිත්වයෙන් තැනූ ධාන්‍ය අම්ල අරුචියට වාත රෝග වලට හා වයස්ථාපනයට යෝග්‍ය බව දක්වා ඇත. සුශ්‍රැත සංහිතාවේ සූත්‍රස්ථාන 15 හි අතිස් ථොල්‍යතාවට ඉතා ගුණදායක යෝගයක් දක්වා ඇති අතර එහි කෝර දුෂ ද එක් ද්‍රව්‍යයකි.

දේශීය චිකිත්සාවේ මුහ රෝගයට හෙවත් තමකශ්වාස රෝගයට පහත දැක්වෙන අන්දමට පිළියෙළ කළ අමු හාලේ බත යෝග්‍ය බව දක්වා ඇත.

හින්ගුන් ලසුනු කළුදුරු ගෙඳ උලු සහල

තුන්වග යහුනු අසමොදගන් සම සියල

සුන්කර ‘ ඔර යුසින් කැහිපිත්තන් කිසල

ඉන්පසු මනාවක් අරගෙන අමු හසල

යුස දෙසි මනාවට අමුසාලුත් ලමිනා

ලෙස නිසි ඇඹරු ඔසු ඊටම දිය කරනා

පිස මේ බත රැගෙන තුන් වේලට වනා

මුස ඇදුමට දෙවි බැට නාවනු සොඳිනා

1 කිසල – කොල

සකොර දුෂඃ ශ්‍යාමාකඃ කෂාය මධුරෝ ලඝු, වාතලා කළු පිත්තස්නඃ ශීතඃ සංග්‍රාහී ශෝෂණඃ

2 අමු

3 හමු

ච. සූ. 27

කොද්‍රවශ්ව සනිවාරඃ ශ්‍යාමකශ්ව සශන්ත
කෂාය මධුරෂ් කේක්ෂාං ශීතඃ පිත්තා ‘පහස් ස්මෘතඃ

සුශ්‍රැත සූත්‍ර 46.

උත්පත්නේ තු ශිලාජතු ගුග්ගුලු ගෝමුත්‍ර ත්‍රිවලා ලෝහ –
රජො රසාංජන මධු යව මුද්ග කෝර දුෂෂ්ක ශ්‍යාමා කොද්දාල –
කාදී විරූක්ෂණච්ඡෙදනීයනාංච ද්‍රව්‍යාණං විධි වදුපයෝගෝ.

සුශ්‍රැත සූත්‍ර 15

ධාන්‍යාමලං ශාලි චුර්ණාදි කෝද්‍රවාදි කෘතං මතම්.
අරුවො වාත රෝගේෂු සර්වේෂ්වාස්ථාපනේ හිතම්;

භාව ප්‍රකාශ සන්ධාන වර්ග

ආශ්‍රිත ග්‍රන්ථ

  1. ද්‍රව්‍ය ගුණ විඥානය – පුර්ව ඛණ්ඩය 1967 විලියම් අල්විස් මැතිතුමා
  2. සුශ්‍රැත සංහිතාව
  3. භාව ප්‍රකාශ පුර්ව ඛණ්ඩය
  4. දේශීය වෛද්‍ය ලේඛන
  5. භාව ප්‍රකාශ නිසංටු
  6. මහෞෂධ නිසංටු

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top