අඬනහිරිය

BOTANICAL NAME – Crotalariya retusa L.
FAMILY – LEGUMINOSAE

සිංහල – කහ අඬනහිරිය
බංගලි – වනශන
ද්‍රවිඩ – කිලුකිලුප්පායි, වෙල්ලේක්කිලු කිලුපෙයි
හින්දි – චුන්ගුනියන්

පර්යාය නාම
1.ශනපුෂ්පී ශනර්ගන්ධිකා

  1. ඝණ්ඨාරවා

කුලය – ශිම්බි කුලය
ප්‍රභේද – කහ අඬනහිරිය
නිල් අඬනහිරිය

ඉන්දියාවේ මෙන්ම ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි ක්ෂූපයෙකි. පහතරට වියළි ප්‍රදේශ වල බහුලය. එහි වියළි කරල් සුළඟට සෙලැවීමේදිත් සෙලවූ විටත් ඇතිවන ශබ්ධය නිසා අඬනහිරිය නම යෙදී ඇතැයි සිතිය හැකිය. ඝණ්ඨාරවා යන සංස්කෘත ශබ්ධයද වියළි කරල් වලින් නැගෙන හඬ නිසා යෙදුණා විය හැකිය. අඩි 3-4 හෝ අඩි 5-6 උසට වැඩෙන අඬනහිරිය ක්ෂූපය වර්ෂජීවිය. පත්‍ර කොළ පැහැයක් ගනී. අණ්ඩාකාරය, ත්‍රිපත්ත්‍රික ය. එක කොලයක් අඟල් දෙකක් පමණ දිගය. යට පැත්තේ සිහින් බූවක් ඇත. කහ පැහැති මල් සහිත අඬනහිරිය කහ අඬනහිරිය නමින් ප්‍රකටය. මල් හට ගන්නේ අඟල් 5-12 පමණ දිගය වැඩුණු දණ්ඩකය. කරල දම් පාටට හුරු කොළ පැහැයක් ගනී. සිලින්ඩරාකාර ය. කෙළවර මදක් නැමුණු ස්වභාවයක් දක්වයි. එක කරලක ඇට 15-20 ක් පමණ තිබේ.

මුල් ගැටිති සහිත ය. (රනිල කුලය) එම ගැටිති වල එක්තරා බැක්ටීරියා වර්ගයක් අඩංගු වේ.

රස ගුණ

රස – තික්ත හා මධුර අනුරස ය
ගුණ – ලඝු රූක්ෂ හා තීක්ෂනය
විපාක – කටුකය
වීර්ය – උෂ්ණය
ප්‍රභාව – වමනකාරකය

ව්‍යවහාර්ය – සම්පූර්ණ ක්ෂුපය

අඬනහිරිය කඵ පිත්ත නාශක ය. මුල් වමනකාරක ගුණය ප්‍රධානව ඇති හෙයින් කඵ ශෝධනය කෙරේ.

පත්‍ර ප්‍රලේපය පිත්ත ශාමක හා කුෂ්ඨ නාශකය.

බීජ ප්‍රලේපය ව්‍රණශෝථ පාචකය.

රක්ත සංවහන ව්‍යුහයෙහි – මල් හෘද්‍ය ද රක්තරෝධක ද වේ. කුෂ්ඨ නාශකය.
මුල් සේවනයෙන් වමනය වේ. පත්‍ර, ග්‍රාහි ගුණයෙන් යුක්ත වේ. ලාලා ප්‍රසේකය ශමණය කෙරේ.

ආමයික ප්‍රයෝග.

සෙම් පිත් රෝගයන්හි ගුණ ලබා දේ.
පිත්තජ ශෝථයෙහි හා කුෂ්ඨයෙහි පත්‍ර ප්‍රලේපය යෙදේ.
මුඛ කණ්ඨ රෝගයන්හි පත්‍ර ක්වාථය ගණ්ඩුෂ නියමයෙන් යොදනු ලැබේ. ළදරු මාන්දම් රෝගයෙහි අඬනහිරිය අඩංගු මාන්දම් තෛලය ප්‍රශස්ත ය. මාන්දම් තෛලය අභ්‍යයන්ගයට මෙන් ම පානය ට සුදුසු වේ. මාන්දම් ජනිත අක්ෂි රෝග ආදියට ද ගුණ දේ.

අඬනහිරිය පැණිය (පානකය) පුරාතන නාසයට හා විශේෂයෙන් කක්කල් කැස්ස ට ගුණ දායකය. කක්කල් කැස්ස සඳහා යෝගය පිළියෙල කිරීමේදී ද කථා නොකර සිටීමේ විශේෂ නියමයකි.

අඬනහිරිය ආසවය සඳහා පංචාංගය ම යොදා ගනියි. “කක්කල් කැස්ස” (කුක්කුර කාස) රෝගයේදි අඬනහිරිය කොළ බාඳුරා කෙණ්ඩියේ වතුර සමඟ සම ප්‍රමාණ ව ගෙන, මී පැණි මිශ්‍ර කොට, හිස්බඩ පානයට දීම ඇතැම් පාරම්පරික වෛද්‍යවරුන් අතර කෙරේ. කන් කැක්කුමේදී අඬනහිරියා කොළ යුෂ රත්කර කනට වත් කිරීම ගුණදායක ය. අඬනහිරියා කොළ හා පෙතිතෝර කොළ හා දෙවර්ගයම සමව ගෙන කොටා මිරිකා දෙහි ඇඹුලෙන් කකාරා ගෑමෙන් ඉදිමුම නැසේ.

අඬනහිරියා කොළ, අහු දළු සමව ගෙන අමුකහ දමා කොටා හාල්පානු දියෙන් තම්බා අඹරා ගෑමෙන් ලේ ගෙඩි සුව වේ. වමනයට අඬනහිරියා දෙහි ඇඹුලෙන් ගලගා ඊටම දියකර හිසට දැමීම ගුණය.

“තඹසුණු ගින්න මසුරන් වෙයි දැන ගන්න” යන සතර වන පදය ඇති සිව්පදයේ පළමු වන පදය වන “කටහඬ ඇති දෙන්නා එක තරමට ගන්න” යන්නෙහි දැක්වෙන “දෙන්නා” අඬනහිරියා දෙවර්ගයයි. මේ දෙවර්ගයෙහි ම රසබන්ධන කර්මය ඇත. “රසනියාමිකා” යනුවෙන් ඒ බව ග්‍රන්ථවල දැක්වේ.

ඔසූතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙ

Scroll to Top