අතිවිඩයම්

BOTANICAL NAME – Aconitum heterophyllum Wall. ex. Royle
FAMILY – RANUNCULACEAE

පොදු සිංහල නම – අතිවිඩයන්
සිංහල අතිඋඩයන්, අතිවිඩයන්, ඉවද
දෙමළ – අතිවුඩයම්
හින්දි – අතිස්
සංස්කෘත – අමෘත, අරුණා, ශෙවතකන්ද, අතිවිෂා
ඉංග්‍රීසි – Indian Atees, Atees root.
බෙංගාලි – ආතඉව්
කුලය – වත්සනාභ කුලය

පර්යාය

ප්‍රතිවිෂා, උපවිෂා.
අරුණ – කළු පැහැයට හුරු අඳුරු රක්ත වර්ණයෙන් යුත් නිසා.
විශ්වා, කාශ්මීරා – කාශ්මීරයේ සුලභ නිසා.
ශෘංගි, ශූක්ලකන්ද – අල සුදු නිසා.
විෂා – අධික මාත්‍රාවෙන් විෂ ලක්ෂණ පහළවන නිසා.
භංගුර: පහසුවෙන් කැඩෙන නිසා.
සුනවල්ලභා – ගුල්ලන් ප්‍රිය කරන නිසා.
ශිශූ භෛෂජ්ජ – ළමා රෝග වලට නිතර ගන්න නිසා.
අතිවිෂා – විෂ රහිත හෙවත් “අතික්‍රාන්ත විෂ” හෙයින් අති විෂා.

ප්‍රභේද

පැරණි නිඝණ්ඩුවල අලවල වර්ණයට අනුව භේද 3ක් දක්වා ඇතත් අද අපට දක්නට ඇත්තේ සුදු වර්ණය පමණි.

  1. ශුක්ල අතිවිෂා
  2. කෘෂ්ණ අතිවිෂා
  3. අරුණ අතිවිෂා

රසය – තික්ත කටුක යි
ගුණය – ලඝු යි. උෂ්ණ යි
වීර්යය – උෂ්ණ යි
විපාකය – කටුක යි

අඩි 2-4 දක්වා උස පඳුරු ස්වභාවයක් ගන්නා කුඩා පැලෑටියකි. දිය සීරාව බහුල ප්‍රදේශ වල පහසුවෙන් වැවේ. සාමාන්‍යයෙන් අඩි 8000-13000 දක්වා උස් හිමාලය ප්‍රදේශ වල වැවේ. කොළ විවිධාකාර හැඩ ගනී. එනම් සමහරක් අණ්ඩාකාර ය. සමහරක් හෘදයාකාර ය. කොළයක දිග අඟල් 2-4 ක් පමණ වේ.

මල් ද්වීලිංගිකයි. දම් පැහැති නිල් වර්ණයක් හෝ කහ මිශ්‍ර කොළ වර්ණයක් ගනී. එක ගසක මව් අලය හා දූ අලය යනුවෙන් දෙකක් ඇත. බැහැරින් බැලූ විට දුඹුරු පැහැයක් ගනී. අභ්‍යන්තරය සුදුපාට යි. බිංදු වැනි පිටි සහිත පදාර්ථයක් එම අලවල පවතී. අලයක් අඟල් 2-3 පමණ දිගයි. අඟල් 1-2ක් පමණ ඝණකමයි. මේවා පුරුක් වැනි ය.

ලංකාවේ අතිවිඩයන් සමාන පැළෑටියක් තිබුණද එය නියම අතිවිඩයන් නොවේ.

රසායනික කොටස්

තික්ත රසයෙන් යුත් “අතිසින්” ටැනික්, පෙක්ටින් හා පිෂ්ට, ශර්කරා හා ඇකොනයිටික් ඇසිඩ් යන පදාර්ථ අඩංගු වේ. අධික තිත්ත රසය නිසා පිත හා සෙම සමනය කරයි. උෂ්ණ හෙයින් වාත සාමකයි. සාමාන්‍යයෙන් ත්‍රිදෝෂ නසයි. අභ්‍යන්තර වශයෙන් දීපණ, පාචන ගුණය ඇත.

“අතිවිෂා දීපනිය පාචනය සාංග්‍රාහක සර්වදෝෂ හරාණන් ශ්‍රේෂ්ඨන්”
ච. සූ. 25-39 අ.

මාත්‍රාව වැඩි උවහොත් උගුර කට වියළීම ඇඟ වෙව්ලීම වැනි විෂ ලක්ෂණ පහළ විය හැකිය. එම නිසා සමහරු එළගොම සමඟ එක්කර තරමක් තම්බා ගනී.

පිත් සමනය කරන හෙයින් ඉදිමුම ට හොඳයි. රක්තශෝධක හා රක්ත ස්තම්භන ගුණ ඇත. තිත්ත, කටු, උෂ්ණ, ගුණ ඇති හෙයින් දීපන, පාචනය යි. වමන නාශකයි. ග්‍රාහියි. අර්ශෝඝනයි. තික්ත රස නිසා කිරි පිරිසුදු කරයි. උෂ්ණ ගුණ ඇති නිසා වාජීකරණයි. ජවර නසයි. විශේෂයෙන් ම විෂම ජවරයේ දී යොදයි. රූක්ෂ ගුණය නිසා ලේඛනීය යි. එම නිසා මේදෝ ධාතුව හීන කර, අධික මහත්වීම වලක්වයි. විෂස්නයි. රත්පිතට හා රක්තශ්‍රාවයට හොඳයි.

කුඩා ළමයින්ගේ ක්‍රිමි රෝග

අතිවිඩයන් චූර්ණය අවස්ථාව අනුව සුදුසු අනුපානයෙන් සමඟ දිය හැකිය.

ග්‍රහණියට

අතිවිඩයන් කොටස් 1
රුක් අඟුණ මුල් කොටස් 1
හාල් පාණු දියෙන් අඹරා දෙන්න.

ආමාතිසාරයට

අතිවිෂා කර්ෂ 1
ඉඟුරු කර්ෂ 1

වතුර පත 4-2 ට සිඳුවා විළඳ කර්ෂ 2ක් යොදා පේයාව දෙළුම් යුෂ ප්‍රතිචාප කොට තුන්වර යෙදීමෙන් ආමාතිසාරය සුව වේ.

කෘමි රෝගයට

අතිවිෂා, වළඟසාල් සම භාග චූර්ණය වරකට ග්රෑම් 1 බැගින් මී පැණි සමඟ උදේ සවස දීමට විශේෂයෙන් ළදරුවන් ගේ වටපණු රෝගයට හිතයි.

බාල චතුර්භද්‍රිකා චූර්ණය

කලාඳුරු අල, අතිවිෂා තිප්පිලි, කර්කටක ශ්‍රිංගි චූර්ණය සම භාගව ගෙන පිළියෙල කළ මේ චූර්ණය වරකට මි. ග්‍රෑම් 250 සිට ග්‍රෑම් 1 දක්වා මී පැණි සමඟ දිනපතා තුන් වරක් ළදරු ජවරාතීසාර, ශ්වාස, කාස, ජර්දි රෝග වලට යෙදිය හැකිය

ළදරු කාස, ජ්වර, ජර්දි

කුකුළු සුගූ, තිප්පිලි, අතිවිෂා චූර්ණය සමභාගව ගෙන මී පැණි සමඟ ලේහයට.

ශ්වාස

අතිවිෂා, සුවද කොට්ටං සමභාග චූර්ණය වරකට ග්‍රෑම් 2 බැගින් මී පැණි සමඟ දිනකට තෙවරක් යෙදිය හැක.

පාචන ශක්තිය වර්ධනය සඳහා

අතිවිෂා ඉඟුරු තිප්පිලි සමභාග ගෙන වරකට ග්‍රෑම් 2 බැඟින් ගැනීමෙන් ආහාර දිරවීමේ ශක්තිය වැඩි කරයි.

බාල අතීසාරයට

ඉවද ඇඹිටිය ඉඳින්නරු බෙලිමුල් ද කෙළිදැට සමඟ අස මොද
සබඳ මේ ඇම අටේක පිස මී මුසුව කුමරුන් හට පෙවූ සඳ
උණද අතීසර රුජා තැටමිලි සලේ හිදන් දරුණු හිස රද
එසඳ නොතිබෙයි මෙබස අදහා ගනුව සිතතුළ තිබෙන සැක සිඳ

කෙළිද ඉරිවේරි බෙලි මුල් ඉදින්න රා
ඉවද දියමිත්ත පිසු පැන රැගෙන පෙ රා
එසේ ඳ මී මුසුව කුමරුට දුන්නුව රා
නිබඳ පැවති අතිසර සෙතවේ සපු රා

ඉව ද ඉඳින්තරු බෙලි මුල් දියමිත් ත
කෙළිද සහල් අසමොද ඇම සිඳගත් ත
සබඳ එපැන වුවහොත් මියෙන් යුත් ත
එසඳ කුමරු අතිසර නැතිවනු ඇත් ත

මාන්දමට

කෙළිද ඉවද දියමිති මුල
ඉරිවේරිය ඉතුරු දිඹු ල
අටින් එකට සිඳ වූ ජල
මී පැණි මුසු කොට දුන් කල

අතීසාර උණ දෙඩවි ලි
ලේ හිදන් සහ තැටම ලි
රදේ රුදා ගුද පෙරැළි ලි
සෙතවෙයි අමු පැසී සිය ලි

කෙළිද ඇට අතිඋඩයන් දියමිත්ත ඉඟුරු ඉරිවේරිය දිඹුල් පොතු මේ හැම සම සමව ගෙන අට එකට කකාරා දෙනු. මී පැණි සහිතව දෙනු. අතීසාර ගුණ වේ.

පර්යාය ගුණ

විෂාත්වතී විෂා විශ්වා ශෘංගී ප්‍රතිවිෂාරුණා:
ශුක්ල කන්ද චෝපවිෂා භංගුරා ඝුනවල්ලභා:
විෂා ශෝෂ්ණා කටුස්තික්කා පාචනී දීපනී හරෙත්
කඵ පිත්තාතිසාරාම විස කාස වම් හරෙත්:

විෂාත්‍රයන් ත්‍රිදෝෂස්නං පාචනන් ග්‍රාහි තික්තකම්,
බාලානන් සර්වදා පත්‍යන් වම් ශෝථ විමර්දනම්:
ශෝඨල

ඉන්දියාවේ කඳුකර වැසියෝ අතිවිෂා අල ව්‍යංජනයක් වශයෙන් ද භාවිතයට ගනිති.

මේ හැර වෛද්‍යවරු පහත සඳහන් ඖෂධ සකස් කිරීමේදී අතිවිඩයන් යොදා ගනිති.

චන්ද්‍ර කල්කය
බුද්ධ රාජ කල්කය
යෂ්ටි කල්කය
අර්කානන්තාදි කෂාය
අශ්වඝන්ධාමෘතාදී ක්වාථය
ගුඩු ව්‍යාදී කෂාය
පාඨා සමංගාදික්වාථය
මහාමංජිෂ්ඨාදිය
මුස්තා කරංජාදි කෂාය
වචාදි ගණ ක්වාථය
මහ චීන මුල් අරක්කුව

ආයුර්වේද ඖෂධ සංග්‍රහය – ඉන්දියන් මැටීරියා මැඩිකා (නාදකර්ණී)
වරඔසු කළඹ – ජේ. සී. කන්නංගර රාළහාමි
පැරැණි පුස්කොළපොත් කිහිපයක්

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top